Monday, September 29, 2025

බොරුව, බොරු බොරුව සහ සැබෑ බොරුව

 Reproduction from Mawbima

බොරුව, බොරු බොරුව සහ සැබෑ බොරුව


බොරුවෙහි ප්‍රභේද ගණනාවක් තිබේ. 

අසත්‍යයක් බව නිශ්චිතව නොදැන කරන ප්‍රකාශය බොරුවකි. 

බොරුවක් බව දැනගෙනම අනෙකා නොමඟ යවන අදහසින් කරන ප්‍රකාශය වනාහි බොරු බොරුවය. 

සැබෑ බොරුව යනු බොරුව දීර්ඝ කාලයක් නොකඩවා ප්‍රකාශ කිරීම හේතුවෙන් සමාජගතව තහවුරු වී ඇති බොරුවයි. 

ශ්‍රී ලංකාවේ දේශපාලකයෝ මේ ආකාර තුනම තමන් රුචි පරිදි හසුරුවා ජනතාව මුළා කරති. 

පොළේ බෙහෙත් තෙල් වෙළෙන්දාටත් රැවටෙන අපේ රටේ මිනිස්සු කපටි දේශපාලකයන්ට රැවටෙන එක පුදුමයක් නැත.

හිට්ලර් ජර්මනියට බෝම්බ දැම්මා කියන කතාව සහ අංගුලිමාල සිවුර කරේ දමාගෙන කඩුවක් ගෙන බුදුන් වහන්සේ පසුපස පැන්නුවා කියන  ජනාධිපති රනිල්ගේ කතාව ඉහත තුන් ආකාරයකටම අයත් නොවන අතර ඒවා වැටෙන්නේ ජෝක් එකට කියන බොරුගානටය. යූඇන්පී ආණ්ඩුව බලයේ සිටියදී අධ්‍යාපන ඇමැති ඊරියගොල්ල ලියා අප මහත් 

ආඩම්බරයෙන් ගායනා කළ “ලෝකෙන් උතුම් රට ලංකාවයි” ගීතය අයත් වන්නේ සැබෑ බොරු ලැයිස්තුවටය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදීත් සමුළු සම්මන්ත්‍රණවලදීත් ශ්‍රී ලංකා ආර්ථිකයේ ඉදිරි දිශානතිය සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ කරමින් සිටී. 

ඉකුත් දිනෙක ලංකා වාණිජ මණ්ඩලය සංවිධානය කළ 2022 ආර්ථික සමුළුව අමතමින්  හෙතෙම ප්‍රකාශ කළේ අපි 2050ට යන්න ලෑස්තිද, නැතිනම් 1950 දක්වා ආපසු යන්නට සූදානම්ද යන්න තීරණය කිරීමේ අවස්ථාව එළැඹ තිබෙන බවය. 

කොළඹ වරාය ජා ඇළ දක්වා පුළුල් කළයුතු බව ඔහු ප්‍රකාශ කළේද එම සමුළුවේදීය. 

එහිදී ඔහු මෙසේද ප්‍රකාශ කළේය.

මට පෞද්ගලිකව ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා කිසිදු සැලැස්මක් නෑ. එම නිසා ආණ්ඩුවටත් ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන සැලසුමක් නෑ. අපට අවශ්‍ය වන්නේ 2050ට මුහුණ දෙන නව ආර්ථිකයක් ගොඩනැඟීමටයි. පෞද්ගලික අංශය ඊට සූදානම්ද. මට ඔබෙන් ඇසීමට තියෙන ප්‍රශ්නය එයයි මට අහන්නට තිබෙන්නේ අභියෝගය භාර ගන්නවාද නැතිනම් හැංගෙනවාද යන්නයි.”

දැන් බන්දුල ගුණවර්ධනලා ඉන්නේ ආර්ථික විශ්ලේෂණ ගැන කතා කරනවා තියා අෑනුමක් අරින්නටත් කට අරින්නට බයේය. 

නන්දලාල් අයි එම්.එෆ්. ගැන කියපු කතා අතේ පැළ වෙන බොරු වී තිබෙන්නේ වරක් දෙවරක් නොවේ.  

සියල්ල බොරු බවත් ශ්‍රී ලංකා ආර්ථිකය පණ අදිමින් සිටින බවත් සියල්ලෝම දනිති.

ආණ්ඩුවේ ආස්ථානය යළි යළිත් අවධාරණය කරමින් රනිල් වික්‍රමසිංහ මෙසේද පැවැසීය.

“70 දශකයේ මම ඇමැතිකමට පත්වන විට ජාත්‍යන්තර අවධානය යොමුව තිබුණේ ඉන්දියන් සාගරයට නොව පැසිෆික් සහ අත්ලාන්තික් සාගරවලටය. අද එය එසේ නොවේ. ලෝක තරගය ඇමරිකාව සහ රුසියාවේ සිට ඇමරිකාව සහ චීනයට ගිහින්. ලංකාවේ ස්ථාවරය වන්නේ ඇමරිකාව ඉන්දියන් සාගරයේ සිටියත් අපේ විරුද්ධත්වයක් නැහැ. එදිරිවාදිකම් නැතිතාක් ජපන්, චීන හෝ වෙනත් අය ඉන්දියන් සාගරයේ සිටීම ගැනත් අපේ විරුද්ධත්වයක් නැහැ.”

70, ජාත්‍යන්තර අවධානය වඩාත් යොමු වී තිබුණේ ඉන්දියන් සාගරය. ඇමරිකාව ඉන්දියා සාගරයේ දියාගෝ ගාෂියාවේ යුද කඳවුරක් ඉදිකිරනවාට සෝවියට් කඳවුර තරයේ විරුද්ධත්වය ප්‍රකාශ කළේය. 

ඉන්දියන් සාගරය සාම කලාපයක් කරන ලෙස ඉල්ලමින් අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක එක්සත් ජාතීන්ගේ සම්මේලනය අමතා ඉල්ලා සිටියාය

ඉන්දියන් සාගරයේ ඇමරිකන් යුද කඳවුරක් පිහිටුවනවාට විරෝධය පළකරමින් වමේ පක්ෂ පෙළපාළි ගියේය.

රනිල් වික්‍රමසිංහ පවසන්නේ, 70වේ ඉන්දීය සාගරය පිළිබඳව ලෝක අවධානයක් නොතිබූ බවය. 

ඔහුගේ විදේශ ප්‍රතිපත්තිය සිරිමා බණ්ඩාරනායකගේ විදේශ ප්‍රතිපත්තියට සහමුලින් විරුද්ධය. 

ඔහු කියන්නේ ජපනා, චීනා, ඇමරිකානුවා ඉන්දියන් සාගරයේ සිටියාට මගෙන් බාධාවක් නැත කියාය

පුදුමය නම් පොහොට්ටුවේ ඊනියා දේශප්‍රේමීන් කිසිදු පසුබෑමකින් තොරව රනිල්ගේ ප්‍රතිපත්තියට නමස්කාර කිරීමය.

No comments:

Post a Comment