Sunday, December 8, 2019

Politically Motivated Man Made (M.M.M) Environmental Destruction

Reproduction

Politically Motivated Man Made (M.M.M) Environmental Destruction

කිතුල්ගල ජනතාවට කරන්ට් වදීද?

නිමල් අබේසිංහ

කිතුල්ගල ජනතාව සිටිනුයේ අති දැවැන්ත පරිසර විනාශයක් සමග දැඩි මහජන පීඩාවක් සිදුවිය හැකි අනතුරක මුව විටෙහිය. ඒ කැළණි ගග හරහා බැම්මක් ඉදිකර පෞද්ගලික ජලවිදුලි බලාගාරයක් ඉදිකිරීමේ සැළසුමක් ක‍්‍රියාත්මක වන බැවිනි. කිතුල්ගල හයිඩ්‍රො ෆවර් නමැති සමාගමක් මෙම කාර්යයේ නිරතවෙන අතර එය ශ‍්‍රී ලංකාවේ සුප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරාගේ ව්‍යාපාර සමුහයට අයත් එකක් බව කිතුල්ගල ජනතාවගේ අදහසය.


ධම්මික පෙරේරා යැයි කිවූ සැණින් අප සිහියට නැගෙනුයේ එංගලන්තයේ සායනික අපද්‍රව්‍ය සහිත කුණු කන්ටේනර් ශ‍්‍රී ලංකාවට අපනයනය කර ඇති හේලිස් ෆ‍්‍රීසෝන් නමැති සමාගමය. එවැන්නෙකුට පරිසරය ආරක්ෂා කිරීම හෝ මහජන පීඩාවක් සිදුවීම යන්න කිසිදු වැදගම්මකට නැති කාරණාවක් බව නිසැකය.


කිතුල්ගල උපාලි සේනානායක වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරියෙකි. ඉදිකිරීමට යෝජිත විදුලිබලාගාරය සම්බන්ධයෙන් ඔහු දක්වන අදහස් මෙ
ලෙසය.





උපාලි
විදුලිබලාගාරයක් ඉදිකරන්න සුදානම් වූයේ දෙදහස් දහය වසරේදි විතර. බැම්ම ඉදිකිරීමට නියමිත ස්ථානයේ ගල්වෙඩි පවා දැම්මා. මිනිස්සු විරුද්ධ වෙලා ඒක නැවැත්තුවා. 2012 දී මේ ව්‍යාපෘතිය නතර කළා. ඒක කළේ කෑගල්ල දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුව. දැන් ආයෙත් වැඩ ආරම්භ කිරීමේ සුදානමක් තිබෙනව. මිනිස්සු දැන් කලබල වෙලා සිටින්නෙ. ප‍්‍රධාන ගංගාවක් හරහා බැම්මක් ඉදිකර පෞද්ගලික විදුලිබලාගාරයක් ඉදිකරන ප‍්‍රථම අවස්ථාව තමයි මේක. උපාලි දක්වන තොරතුරු අනුව බැම්ම ඉදිකිරීමට නියමිත ප‍්‍රදේශය නාය යෑමට බදුන් වූ ප‍්‍රදේශයකි. කොළඹ හැටන් මාර්ගයේ 34 වැනි කිලෝමීටර් කණුවේ සිට 36 වැනි කිලෝමීටර් කනුව දක්වා ප‍්‍රදේශය නාය යෑමේ අනතුරට ලක්වෙන ප‍්‍රදේශයකි. මාර්ගය අසල ඒ බැව් දැක්වෙන පුවරුද සවි කර තිබීමෙන් එය සනාථ වේ. බැම්ම ඉදිකිරීමට නියමිත ස්ථානය හදුන්වනුයේ මඩ මෝදර යනුවෙනි. එසේ හදුන්වන්නේ මෙම ස්ථානය මඩ බහුල ප‍්‍රදේශයක් බැවිනි. එම මඩ ගලා එන්නේ හැටන් පාර අසල භූමියෙනි. අවස්ථා දෙකකදීම මේ ස්ථානය අසල මහා මාර්ගය ගිලාබැස ඇති අතර මගී බස්රථ පවා එම ස්ථනයෙන් ධාවනය කර ඇත්තේ මගීන් ඉවත් කරය. මෙම ස්ථානයේ වෙළෙද සැලක් පවත්වාගෙන යන කිතුල්ගල වෙළෙද බල මණ්ඩලයේ සභාපති නන්දිත කරුණාරත්න කියන්නේ නාය යෑමේ උවදුරට ලක් වූ විට තමන් ඇතුළුව එම ප‍්‍රදේශයේ ප‍්‍රජාව එම ප‍්‍රදේශයෙන් ඉවත් කර කිතුල්ගල විහාරස්ථානයේ රදවා සිටි බවය.

නාය යන ප‍්‍රදේශයක්

නන්දිතගේ කඩය අසල කදු බෑවුම නාය යෑමේ උවදුරට ලක්වීම හේතුවෙන් එය වළක්වා ගැනීම සදහා යෙදු උපක‍්‍රම තවමත් පෙනෙන්නට තිබේ. කදු බැවුම දිගේ ජලය ගලාගෙන ඒමට සැකසු විශාල කොන්ක‍්‍රීට් කාණු කීපයක් බෑවුමේ සිට කැළණි ගග දක්වාම ඉදිකර ඇත. එකී කොන්ක‍්‍රීට් කාණුවට තැනින් තැනදී පොළොවට සම්බන්ධකර ඇති කුඩා නලවලින් ජලය ගලාගෙන එනු දැනුදු දැකිය හැකිය.



නන්දික
මේ ප‍්‍රදේශයට කියන්නේ මඩ මෝදර කියලයි. ඒ නමින්ම පේනවනේ මෙතන කොහොම තැනක්ද කියලා. පරණ මිනිස්සු මෙතනට ඒ නම දාලා තියෙන්නේ මෙතන තිබෙන විශේෂත්වය නිසානෙ. තදින් වැහැපු අවස්ථා දෙකකදි මෙතන පාර පුපුරලා අඩි දෙකක් විතර ගිලා බැස්සා. මේවට අනුමැතිය දෙන්න පරික්ෂා කරන්න එන මහත්තුරු මේව ගැන හොයන්නෙ නැතිවනේ අවසර දීලා තියෙන්නෙම. එක පැත්තකින් නාය යනව කියලා බෝඞ් ගහනව. අනෙක් පැත්තෙන් ඒ අයම මෙතන ජලාශ ඉදිකරන්න අවසරත් දෙනවා.

මෙම ඉදිකිරීමට විරුද්ධව උපාලි සේනානායක ඇතුළු කිතුල්ගල පිරිස විසින් බලධාරීන් වෙත දන්වා යැවු ලිපිවල සදහන් තොරතුරු අනුව සිදුවෙන හානි බරපතළ ඒවා වේ. මෙම වේල්ල ඉදිකිරීමට යෝජිත ප‍්‍රදේශයේ ගගට මායිම් වූ එක පැත්තකින් ඇත්තේ ලෝක ප‍්‍රකට මාකන්දාව වැසි වන්නාන්තරයයි. එය ලෝක ප‍්‍රකට වනුයේ ලොව කිසිදු ස්ථානයකින් සොයාගෙන නැති, එමෙන්ම ශ‍්‍රී ලංකාවේද වෙනත් කිසිදු වනාන්තරයක නැති සුවිශේෂී ශාඛ වර්ගයක නිජබිම මෙම වනාන්තරය වීමය. ‘‘ බැලනොකාපුස් කිතුුල්ගලනීස්’’ නමින් හදුන්වන මෙකී ශාඛය සොයාගන්නා ලද්දේ ඒ. ජේ. ජී. එච්. කොස්ටර්මන්ස් නමැති උද්භිද විiාඥයා විසිනි. එවන් දුලබ සුවිශේෂි ශාඛය විනාශවීමේ අනතුරක් තිබෙන බව හදුනාගන ඇත්තේ මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පරිසර අධ්‍යයනයක යෙදුන ආචාර්ය සුරන්ජන් ප‍්‍රනාන්දුය. එයට අමතරව වේල්ල ඉදිකරන ගංගා ප‍්‍රදේශයේ ශ‍්‍රී ලංකාවේ ව`දවෙමින් පවතින මත්ස්‍ය විශේෂයන්ද සිටී. අශෝක පෙතියා ඉන් සුවිශේෂය. 

ගංවතුර උවදුර

වේල්ල ඉදිකිරිම නිසා ඇතිවන ජලාශයේ ජල ගිල්ම මීටර් 600ක පමණ දුරට ගග ඉහළම අල්ලා සිටිතැයි ගණන් බලා තිබේ. මේ හේතුවෙන් මාකන්දාව වනාන්තරයට මෙන්ම ගෙග අනෙක් දෑලේ වෙසෙන නිවාස කීපයක පිරිස්වලට ඝෘජු බලපෑමක් ද ඇතිවෙන බව කියවේ. එලෙස ගගට යාව පවතින වගුරුබිමක් සහිත කුඹුරු යායද ජලයට යටවීම වලක්වා ගත නොහැකි වේ. කිතුල්ගල වෙළෙද බල මණ්ඩලයේ සභාපති නන්දිත කරුණාරත්න පවසන්නේ කිතුල්ගල නගරය ආශ‍්‍රිත කිසිදු වෙළෙද සැලකට ගංවතුරෙන් වන හානි නිසා සංරක්ෂණය කිරීම රක්ෂණ සමාගම් භාර නොගන්නා බවය. එයට හේතුව කිතුල්ගල නගරය දැඩි වර්ෂා කාලවලදී ගංවතුර උවදුරට බදුන්වීම නොවේද?

කිතුල්ගල නගරය ගංවතුරට යටවීම පිළිබද තොරතුරු සැපයූවන් අතර පරිසර ක‍්‍රියාකාරිකයෙකු වන සෑම් ජයනන්ද ඉදිරියෙන් සිටී. කැළණි ගගට කිතුල්ගල දී ඔයවල් දෙකක් ගලාබසිනව. එකක් ගිරන්කිත්ත ඔය. මේකට මල්වතු ඔය කියලත් සමහරු කියනවා මේක කැළණි ගගට වැටෙන්නේ කිතුල්ගල නගරය මැදින් ගලාගෙන ගිහින්. අනෙක් එක තමයි මාකන්දාව. රක්ෂිතය මැදින් ගලාගෙන එන මාපනා ඔය. වැසිකාලයට කැළණි ගෙග් ජලය වැඩිවුනාම මේවායෙන් ගලා එන ජලය ගගට ගලායන්න විදියක් නැහැ. එතකොට වෙන්නේ විශේෂයෙන්ම ගිරන්කිත්ත ඔයේ ජලය හිරවෙලා කිතුල්ගල නගරය යටවීම. එවැනි අත්දැකීම් මේ ප‍්‍රදේශයේ හැමදෙනාටම තිබෙනවා. ඉතින් මෙතන බැම්මක් බැදල ජලාශයකුත් හැදුනහම ගංවතුර ප‍්‍රශ්නය තවත් වැඩිවෙනවා.



සෑම්
යටියන්තොට ප‍්‍රාදේශීය සභාවේ පොදුජන එක්සත් පෙරමුණේ මන්ත‍්‍රී විමල් අල්විස් පෙන්වා දුන්නේ ජලාශයේ සිට විදුලිබලාගරය දක්වා ජලය ගලා යෑමට ඉදිකෙරන කෘතිම ජල කාණුව ඉදිකිරීම නිසා සිදුවිය හැකි හානියයි.
‘‘ මේ ජලාශයේ ඉදල විදුලිබලාගාරය දක්වා වූ මීටර් හයසීයක් දිග කොන්ක‍්‍රිට් ඇල මාර්ගයක් හැදීමට නියමිතයි. ඇල මාර්ගය ඉදිකරන්නේ කොළඹ හැටන් මාර්ගය ආසන්නයෙන්මයි. ඇතැම් තැන්වල පාර අයිනෙන්මයි කැළණි ගග ගලන්නෙ. එවැනි තැන්වලදී ඇලමාර්ගය ඉදිකිරිමේදි එක්කෝ ගගට උඩින් තමයි ඉදිකරන්න වෙන්නෙ. නැත්නම් පාරට හානි වෙනව. යෝජිත ඇලමාර්ගය ගමන් කරන කොටසේ බහුලව විශාල් ගල් තිබෙනව. ඇල හදන්න මේවා කඩන්න ඕනේ. ඒකට වෙඩිදාන්න ඕනේ. මේ ප‍්‍රදේශය නාය යන ප‍්‍රදේශයක් විශාල වශයෙන් ගල්වෙඩි දානකොට මොකද වෙන්නේ කියලා හිතාගන්න පුළුවන්නේ. ඔහු පවසන්නේ වසරේ මාස අටක් පමණ කිතුල්ගල ප‍්‍රදේශයට වර්ෂාව ඇද හැලෙන බවය. ඒ නිසා නිතර දිය සීරාවක් පවතින ප‍්‍රදේශයක මෙවැනි ඉදිකිරීම් කිරීම කොහෙත්ම නුසුදුසු බවය. කැළණි ගගට රක්ෂිත නැත

කිතුල්ගල මිනි හයිඩ්‍රෝ ෆවර් ප‍්‍රයිවෙට් ලිමිටඞ් නමැති සමාගමෙන් මෙම විදුලිබලාගාරය ඉදිකරනු ලබන බව පැවසුවේ ඉංජිනේරු කළමනාකාර රන්නෙත් කරුණානායකය. ඔහුගේ ජංගම දුරකථන අංකයට අමතනු ලදුව ඔහු පවසා සිටියේ මෙම ඉදිකිරීමට අදාලව සියළු ආයතන වලින් නිසි අවසරය ලබාගෙන ඇති බවය. මෙහිදි රජයේ ආයතන විසින් ලබාදී ඇති අවසරය ගැන කුකුසක් ඇතිවේ. ඉන් එකක් වනුයේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයය. එම ආයතනය විසින්ම මෙම ප‍්‍රදේශයේ නාය යන බවට දැන්වීම් පුවරු පවා තබා තිබියදී මෙවැනි ඉදිකිරීමකට ඉඩ දුන්නේ කෙසේද යන්නය. එක අතකින් එය පුදුමයට කරුණක්ද නොවන්නේ මෙයට දින කීපයකට ඉහතදී වලපනේ ප‍්‍රදේශයේ නාය යෑමක් සිදුවුන ස්ථානයේද මහා පරිමාණයේ ගල් වලක් පවත්වාගෙන යාමට මෙම ආයතනය අවසර ලබාදී තිබිමය. එම ස්ථානයද නාය යෑමේ අවධානමට ලක්වෙන ප‍්‍රදේශයක් බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නම් කර තිබුණ බවද මාධ්‍යයේ පළ වී තිබුණේය. ඉදිකරන ජලාශයේ සිට බලාගාරය දක්වා ජලය ගෙනයන ජල මාර්ගය ඉදිකරනුයේ කැළණි ගග අසබඩින්ය. ඕනෑම ස්වාභාවික ජලමාර්ගයක් දෙපස ඇති භූමි ප‍්‍රමාණයෙන් නිශ්චිත කොටසක් රක්ෂිත ලෙස නම් කිරීමේ නීතියක් මෙරටේ පවතී. කැළණි ගග වැනි විශාල ගංගාවක එවැනි රක්ෂිතයක් තිබීම අනිවාර්ය නමුත් රන්නෙත් කරුණානායක පවසන විදියට නම් කැළණි ගෙග් රක්ෂිත ඉඩම් තිබී නැත. එයට හේතුව ගග අසබඩ ඉඩම් තම සමාගම විසින් මිලදීගෙන ඇති බව පැවසීමය. මේ වනවිටත් ගග අයිනේ ඇතැම් ඉඩම් කම්බි වැටවල් ඉදිකර වෙන්කරගෙන තිබේ. ඒවා පෞද්ගලික හිමිකරුවන්ගෙන් තම සමාගම මිලදීගත් ඒවා බව රන්නෙත් කරුණානායක අවධාරණය කළේය.



විමල්
මෙයද බරපතළ ප‍්‍රශ්නයක් වන්නේ රජයේ රක්ෂිත ඉඩම් වලට පෞද්ගලික හිමිකරුවන් ඔප්පු සාදා විකිණිම නිසාවෙනි. මේවා අනුමත කරන වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ, ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පරිසර අමාත්‍යාංශයේ නිළධාරීන් මේ ගැන සොයා නොබැලූවේද ? එසේ සොයා නොබැලීම ගැන අපට සිතන්නට ඇත්තේ සියළු දෙනා මුදලට යටවීම නිසාද ?
ගවන තොරතුරු විදුලි බලාගාර ව්‍යාපෘති කළමනාකාරවරයාගෙන් වැඩිදුරටත් විමසීමේදි සමාගම අධ්‍යක්ෂ මණ්ඩලයකින් පාලනය වන්නක් බව පැවසූමුත් අධ්‍යක්ෂවරුන් කව්ද ? ඔවුන්ගෙ නම් මොනවාද දුරකතන මොනවාද යන්න විමසුවිට එයට නිසි පිළිතුරු ලබා නොදුන්නේය. අවම වශයෙන් සමාගම් කාර්යාලයේ අංකයවත් ලබා නොදුන්නේය. මෙම සමාගමේ මව් සමාගම කුමක්දැයි විමසුවිට එයටද ඔහුගෙන් පිළිතුරක් නොවීය. ජලාශවේල්ල කොතරම් උසද යන ප‍්‍රශ්නයට ඔහු ලබාදුන්නේ අපූරු පිළිතුරකි. එනම් අදාල වේල්ල ඉදිකළවිට වේල්ලක් සමග මුහුදු මට්ටම මීටර් 48 ක් බවකි. වේල්ලෙ පාදම ඉදිකරන ස්ථානය මුහුදු මට්ටමේ සිට කොපමණ උසකින් පිහිටා ඇත්දැයි යනුවෙන් අසන ලද ප‍්‍රශ්නයට පිළිතුරු දීම ඔහු මග හැරියේ ඉතා සුක්ෂම අයුරින්ය. එලෙසම විදුලිබලාගාරයට ජලය ලබාගන්නා කෘතිම ඇලමාර්ගය (කොන්ක‍්‍රිට් කානුව) කොතරම් දිගද. එහි උස හා පළල ප‍්‍රමාණය පිළිිබදවත් ඔහුගෙන් නිශ්චිත පිළිතුරක් නැත. ඔහු වඩාත් අවධාරණය කළේ ව්‍යාපෘතියට සියළු ආයතනවලින් අවසර ලබාදී ඇති බවය.

ශ‍්‍රී ලංකාවේ කුඩා පරිමාණයේ පෞද්ගලික ජලවිදුලි බලාගාර ආශ‍්‍රීතව අප සතුව තිබෙන අත්දැකීම් අනුවනම් ඒවායේ ඉදිකිරීම් සිදුකරන විටදීත් ඉන් පසුවත් ඔවුන් කටයුතු කර ඇත්තේ ඔවුන්ම ඉදිරිපත් කර ඇති ව්‍යාපෘති වාර්තාවට අනුව නොවේ. යටියන්තොට ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බෙරන්නාව අමනාවල වී ඔය ආශ‍්‍රීතව ඉදිකළ එවන් විදුලිබලාගාරයක් ඉදිකිරීමේදි ගල්වෙඩි දැමීම හේතුවෙන් අවට නිවෙස්වල බිත්ති පුපුරා තිබු සිද්ධියක රාවය පුවත්පතේම පළවුයේ මීට වසර ගණනාවකට කලිනි.

කැළණි ගෙග් කිතුල්ගල ඉදිකිරීමට යන මෙම විදුලිබලාගාරය ඉදිකරනවාට ප‍්‍රදේශවාසින්ගෙන් මෙය ආරම්භ කළ 2012 වසරේ සිටම දැඩි විරෝධයක් එල්ල වී තිබේ. එනිසාම කෑගල්ල දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවට මෙය නවතා දමන්නට නියෝග කිරීමට සිදුවිය. එකළ විරෝධතා දැක්වුවන් බිය කිරීමට කිතුල්ගල ගමේම අය පවසා ඇත්තේ සුදු වෑන් වලින් ඇවිත් ගෙනියන්න පුළුවන් යනුවෙන් යැයි සුප‍්‍රසිද්ධ කතාවක් ද කිතුල්ගල ප‍්‍රදේශයේ පවතී. අනෙක කොතරම් මහජන පීඩාගෙනදෙන ව්‍යාපෘතියක් වුව තමන් අතට සන්තෝසම් ලැබෙන්නේ නම් ඒවට උදව් උපකාර කරන පිරිස්ද ඕනෑම ගමක සිටිති. කිතුල්ගලට ද එය පොදුය. ඔවුන් කරනුයේ මුලදී මේවාට දැඩි විරෝධය දක්වා පසුව ව්‍යාපෘති හිමිකරුවන් සමග ඞීල් දැමීමය. එවන් අය පවසන්නේ මුහුදු මට්ටමේ සිට මීටර හතලිස් අට ඉක්මවා නොයන උසකින් ජලාශයේ බැම්ම බ`දින්නේ නම් එයට තමන් විරුද්ධ නැති බවයි. එවිට කිතුල්ගලට දැනටත් පවතින ගංවතුර හානිය නැතිවේද ? අශෝක පෙතියා විනාශවීම වැලකේද ? මාකන්දාව රක්ෂිතය විනාශවීම නවතීද ? නාය යෑම නවතීද ? යනුවෙන් කිතුල්ගල ජනයා අසති.

No comments:

Post a Comment