Wednesday, June 22, 2016

One step forwards two steps backwards -Sri-Lankan Way

Reproduction
One step forwards two steps backwards -Sri-Lankan Way

හැරී බලන්නට ‘පැමිණි ගමනක්’ ඉතිරිව තිබේද?
2015 ජනවාරි 08 එතෙක් පැවැති මර්දනකාරී රෙජීමය පරාජය කරනු වස් මෙරට පුරවැසියන් බහුතරය අභියෝග හා බාධා කිරීම් රැසක් මධ්‍යයේ කඳවුරු බඳින විට අදහස් පළ කළේ සමස්ථ ශ්‍රී ලාංකීය දේශපාලන-ඉතිහාසයේ සුවිශේෂී ‘හැරවුම්කාරකයක්’ වෙනුවෙන් ජනතා මතය පෙළගැස්වීම වෙනුවෙනි. ඇත්ත වශයෙන්ම එදින මෙරට පුරවැසියන් හා සමාජ ක්‍රියාධරයන් බහුතරයට මර්දනය, භීෂණය හා තක්කඩිකම අභිබවා ගිය මානුෂීය දේශපාලනයක් සහිත නව යුගයක් උදා කිරීම පිළිබඳව යම් බලාපොරොත්තුවක් දල්වා ගත හැකිව තිබුණි. විශේෂයෙන්ම, ජනවාරි 08 දින පුරවැසියන් බහුතරය තම ඡන්දය පාවිච්චි කළේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති පුටුවේ වාඩි කරවීමටත් වඩා මෑතකාලීන දේශපාලන ඉතිහාසයේ බිහි වූ බලෝන්මාදීම චරිතය වන මහින්ද රාජපක්ෂත් ඔහුගේ හෙංචයියන් රැළත් පළවා හැරීම වෙනුවෙන් බව මම කිහිප පළකම සඳහන් කර ඇත්තෙමි. 
මේ අරමුණ වෙත පුරවැසියන් ලබා දී තිබුණු ප්‍රමුඛතාව කවරේද යත් බොහෝ සුපුරුදු දේශපාලනික චරිත වෙත පුරවැසියන් විසින් ඉතාම සහේතුකව ආරෝපණය කොට තිබුණු ‘ප්‍රතිරූප හා කැරැට්ටු‘ ටිකද අමතක කොට පොදු අරමුණක් හා මානුෂීය රටක් වෙනුවෙන් පෙළ ගැසුණු බව අමතක නොකළ යුතුය. 

තමා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බව ප්‍රසිද්ධ කිරීම සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා චන්ද්‍රිකා කුමාරතුංග, රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග ඇතුළු තවත් දේශපාලනික චරිත කිහිපයක් සමග පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාව මට මේ ලියන විටද මැවී පෙනේ. 
එදින මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මුහුණ! හැඟීම්බර කතා බහ! මහින්ද රෙජීමය යටතේ තමාත්, සහෝදර මැති ඇමතිවරුනුත් විඳි ගැහැට ගැන කී අඳෝනා! අඩි හයක් වැළලෙන්ට වුව හිත හදාගෙන ඒ බව දරුවන්ටද කියා ඔවුන්ගේද ආශිර්වාද ගෙන එඩිතරව ඉදිරිපත් වූ බවට කී ආත්ම ප්‍රකාශ! ඇතැම් විට වැඩ රාජකාරීන් රාශිය සහ පවතින ‘යහපාලන සනීපය’ මැද්දේ කාර්යබහුලව සිටින ජනාධිපතිතුමාගේ මතකයෙන් යට යාමට ඉඩ ඇත්තේ නමුදු ‘යහපාලනයක්’ ගැන සිහින දුටු අපට ඒවා අද ඊියේ මෙන් මතකය (මේ ආණ්ඩුව යටතේ මම පෞද්ගලිකව එවැන්නක් බලාපොරොත්තු වීම දැනටමත් අත්හැර ඇති නිසා මට අතීත කාලය පමණක් භාවිත කරන්නට ඉඩ දෙන්න!). 
රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග පමණක් නොව මෛත්‍රීපාල සිරිසේන මහතා ගැන පවා මහින්ද රෙජීමයේ සිටියදී ඔවුන‍්ගේ කල් ක්‍රියාව දැක තිබූ ජනතාවට තිබුණේ ‘හොඳ’ අදහසක් නොවුණද ඒ මොහොතේ අපට කළ හැකිව තිබුණේ සාපේක්ෂව භයානකකම අතින් අඩු විකල්ප තෝරා ගැනීමයි.
ඒ කෙසේ වෙතත්, යුද්ධය විකුණා කමින්, වාර්ගිකාගමික ජාතිවාදය තම පැවැත්මේ සාධකය කර ගැනීමෙන්ද නොනැවතී ජ්‍යොතිෂය වැනි මිථ්‍යා දෘෂ්ටීන් මේ රටේ නිල ගාමක බලවේග බවට පත් කරමින් රාජාණ්ඩු පාලනයක් ගැන සිහින දැක දැක සිටි මහින්ද රාජපක්ෂ නම් බලකාමී උන්මත්තකයාට නැවත මේ රට පාවා දීමේ හැකියාවක් කිසි කෙනෙකුට තිබුණේ නැති තරමට තත්ත්වය උත්සන්නව තිබුණු බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නොවේ. 
 ජනවාරි 08 දින මෙරට පුරවැසියන් අති බහුතරයට වඩා වැදගත් වූයේ පාලක පුටුවලින් පන්නා දැමිය යුතු අය මිස පුටුවල ඉන්දවන අය නොවූයේ එම පසුබිම තුළය. මේ බව සටහන් කර තබන්නට සිතුණේම එදා මිනීමරු මහින්ද රෙජීමය පළවා හැරීම උදෙසා එකා වන්ව ‘කඩේ ගිය’ අප, ඇතැම් විට වත්මන් ආණ්ඩුව පවා සිතාගෙන සිටින්නට ඉඩ ඇති පරිදි ‘ගොනාට ඇන්දුණේ’ නැති බව මතක් කර දෙනු පිණිසය.
වත්මන් ආණ්ඩුව බලයට පත් වූයේ කවර සටන් පාඨ කියමින්ද, පොරොන්දු හා බලාපොරොත්තු ජනතාව ඉදිරියේ ගොඩ ගසමින්ද යන වග මෙන්ම බලයට පත්ව ඉතාම කෙටි කලකින් හැසිරෙන්නට පටන් ගත්තේ කවර ආකාරයටද යන වගද තවදුරටත් විස්තරාත්මකව කතා කළ යුතු දේවල් නොවේ. අපි ඒවා සියැසින්ම දුටුවෙමු. 
රටේ ජාතික දේශපාලනය වඩා හොඳ අතකට හැරවීමටත්, බහුත්ව ප්‍රජාතන්ත්‍රවාදයක් ස්ථාපිත කිරීමටත් කැපවෙනු වෙනුවට මහින්ද රෙජීමයේ දූෂිත කෙරුමන් සමග යහන්ගත වී හෝ පක්ෂය බේරා ගැනීමේ සටනකට ජනාධිපතිවරයා උර දීම ජනවාරි 08 හැරවුම්කාරකය (දැන්, අවලංගු) අභිමුව ඒකරාශී වූ ජනතා පරමාධිපත්‍යය අමු අමුවේම පාවා දීමක් බව ‘මෛත්‍රීගේ මැසිවිලි ලිපිය හා බලු මැක්කන් සමග නැගිටීමේ දේශපාලනය’ යන ලිපියේදී මම ප්‍රශ්න කළෙමි. 
එතැන් පටන්, ‘යහපාලන’ ආණ්ඩුවකින්’ කිසි දා බලාපොරොත්තු විය නොහැකි කණගාටුදායක කටයුතු රැසක්ම මෛත්‍රී පාර්ශ්වය හා රනිල් පාර්ශ්වය දෙපැත්ත බෙදාගෙන ඉතාම සමගියෙන් ඉටු කරන්නට පටන් ගැනීමේ පිළිකුල් සහගත මතකය අපට කිසි දා අමතක නොවනු ඇත.
ජනවාරි 08 තීරණාත්මක ඓතිහාසික මොහොත බොඳ කර දමන්නට වළි කමින් සිටි මහින්ද රෙජීමයේ ‘කකුල්’ ටික වරක් ජනාධිපතිවරණයේදීද, ඉන් අනතුරුව එළැඹි මහ මැතිවරණයේදීද ප්‍රජාතන්ත්‍රවාදීව පරාජය කර දමන්නට මෙරට පුරවැසියන් බහුතරය තීරණය කළද විවිධ අයථා සහ අනුමත කළ නොහැකි උපායමාර්ගික පාරවල්වලින් ඔවුන් නැවතත් පාලන යාන්ත්‍රණය තුළට රිංගවා ගැනීමට වත්මන් ආණ්ඩුව කටයුතු කළේය. 

මහින්දගේ පාලනය යටතේ ඇමතිකම් දරමින් යෙහෙන් වැජඹුණු, එසේම, ජනතා ඡන්දයෙන් පරාජිත ඇතැම් දේශපාලඥයන් මේ ආණ්ඩුව යටතේද අමාත්‍ය ධූර හා තවත් වරදාන භුක්ති විඳිමින් සිටින තත්ත්වයක් ඉතාම ලෙහෙසියෙන් නිර්මාණය විය.
වෙන එකක් තබා, පැවැති දූෂිත රෙජීමය පරාජය කර වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමට විවිධ තර්ජන, පහර දීම්, මර්ධනය කිරීම සහ අනෙකුත් අභියෝග භාර ගෙන ක්‍රියා කළ සමාජ ක්‍රියාධරයන් වෙනුවෙන් මෛත්‍රී-රනිල් ආණ්ඩුව කළ ගුණ සැලකුවේ මහින්ද රෙජීමය වෙනුවෙන් ඔවුනට පහර දීමට පෙරට ආ මැරයන් මැති ඇමති තනතුරුවලට පත් කොට දේශපාලනික වරප්‍රසාද ලබා දීමෙනි. ඉතාම සරලව කියනවා නම්, මහින්ද රෙජීමයේ දූෂිතභාවය ගැන විවිධ සුරංගනා කතා කියමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ වත්මන් ආණ්ඩුවේ සාමාජිකයන් නැවත එවැනි ඒකාධිපති පාලනයකට මේ රට ගෙන යාම වළක්වනු පිණිස ‘යහපාලන’ ආණ්ඩුවක් වෙනුවෙන් අප කැප වී කටයුතු කළ අයට පවා ‘කොකා පෙන්වීමට’ අමතක කළේ නැත. එක අතකින් එය හොඳය. සාමාන්‍යයෙන් ඡන්දයට කලින් දූෂණ විරෝධීභාවය හා ප්‍රජාතන්ත්‍රකාමීත්වය මවා පෙන්වා බලයට පත් වූ පසුව හුදෙක්ම තම පැවැත්ම වෙනුවෙන් බයිලා ගහන්නට පටන් ගැනීම යනු අපේ දේශපාලන ‘සාරධර්ම’ පද්ධතියේ අනිවාර්ය අංගයකි. ඒ අතින්, වත්මන් ආණ්ඩුවද න්‍යාය විරෝධී නොවී සිටීමට සමත් වී තිබේ!
අද වන විට අප අත්දකිමින් සිටින්නේ මේ කණගාටුදායක සිදුවීම් සියල්ලේ සමස්ථයයි. සාමාන්‍යයෙන්, අප යමක් එපා කියා ඒ වෙනුවට වෙනත් යමක් ඉල්ලන්නේ නම් එයින් අදහස් වන්නේ කුමක්ද යන්න බාලාංශ පන්තිවල සිසුවෙකුට වුව පහසුවෙන් තේරුම් ගත හැක. ජනවාරි 08 දින අප එපා කීවේ මහින්ද රාජපක්ෂ නම් තනි පුද්ගලයා පමණක් නොවේ. 
ඔහු විසින් අනුගමනය කරමින් සිටි මිථ්‍යා දෘෂ්ටික ලෝක දැක්ම, මර්දනකාරී හැසිරීම, ඒකාධිපති වියරුව මෙන්ම ඔහු වටා සිටි දූෂිත හෙංචයියන් රැළද අපට එපා බව ඉන් ගම්‍ය විය. 
වත්මන් ආණ්ඩුව බරපතලෙට නොගත්තේ මේ වැදගත් පණිවුඩයයි. මහින්ද පන්නයේ පාලනයක් තවදුරටත් මෙරටට දරාගත නොහැකි බව ජනවාරි 08 දින බහුතර පුරවැසියන් විසින් ගම්‍ය කරනු ලැබූවද දැන් දැන් සිදු වෙමින් පවතින ඇතැම් දේවල් සහ මහින්ද රෙජීමය යටතේ සිදු වූ දේවල් අතර මහා ලොකු වෙනසක් පෙනෙන්නේ නැත. යම් යම් සාධනීය තීරණ කිහිපයක් ගනු ලැබූවද පුරවැසියන් වෙත ලබා දුන් පොරොන්දු හා බලාපොරොත්තුවලට අවංක වෙමින් පැවැති රෙජීමයට වඩා වෙනස්, විකල්ප පාලන යාන්ත්‍රණයක් ලෙස නැගී සිටීමට මේ ආණ්ඩුවටද හැකි වූයේ නැත. කවර පක්ෂයක් බලයට ආවද අපේ දේශපාලනික ශරීරය වසාගෙන එහි සාරය උරා බොමින් යැපෙන දේශපාලනික කනිතුල්ලන්ගෙන් ආරක්ෂා වීමට හැකි නොවීම මත මේ ආණ්ඩුවද මහින්ද දෘෂ්ටිවාදයේ දිගුවක්ද? යන ප්‍රශ්නය මග හැරීමට නොහැක. මා ‘මහින්ද දෘෂ්ටිවාදය’ යන්නෙන් අදහස් කරන්නේ මහින්ද රාජපක්ෂ නම් තනි පුද්ගලයා නොව ඔහු හා බැඳී තිබූ සමස්ථ දෘෂ්ටිවාදීමය පසුතලයම බව අවධාරණය විය යුතුය.
මහින්ද රෙජීමය යටතේ නීතිය හා සාමය අන්තෙටම පිරිහී ඇති බව ඒ දවස්වල මැතිවරණ වේදිකාවල හඬ නගා කීවද මෑතකාලීනව දූෂණ විමර්ශන හා අධිකරණය ආශ්‍රිතව සිදු වූ යම් යම් දේ දකින විට මේ ආණ්ඩුව සිටින තැනද වටහා ගැනීමට අමාරු නැත. සාමාන්‍යයෙන්, ලංකාව වැනි රටක කවර පක්ෂයක වුවද දේශපාලඥයා පිස්සු නැටීම අපට අමුතු සිදුවීමක් නොවේ. පුදුමය වන්නේ එසේ නොවුණා නම්ය. මහින්දගේ පවුල්වාදය මහා ඉහළින් අවධාරණය කළ රාජිත සේනාරත්න වත්මන් ආණ්ඩුවෙහි තීරණාත්මක කෙරුමෙකු වූ සැණින් තවමත් දේශපාලනික අඳබාලයෙකු වන ඔහුගේ පුත්‍රයා තුඹසින් මතු වන නයෙකු මෙන් තාත්තාගේ හයිය ගෙන දේශපාලනයට එන විට එය පවුල්වාදය නොවේදැයි අසන්නට කාලය මිඩංගු කිරීමට අපට නොසිතෙන්නේ එහෙයිනි. එහෙත්, අධිකරණය යනු අප අවසානයටම බලාපොරොත්තු තබාගෙන සිටින ගැලවීම් ස්ථානයයි. සාමාන්‍යයෙන්, අසාධාරණයක් වූ විට ඊට විසඳුම් සොයාගෙන අප යන්නේ අධිකරණය වෙතයි. එහෙත්, එකී විශ්වාසය රඳවා ගැනීමට අධිකරණයද තවදුරටත් සමත් වී නැති බව මෑත කාලීන ‘අලි ප්‍රශ්න’ ඇසුරින් මනාව ඔප්පු විය. මහේස්ත්‍රාත්ලා තම ‘මචංලා’ පෞද්ගලික මට්ටමින් ප්‍රසිද්ධියේම ගොඩ ගන්නා, එසේම, අත්අඩංගුවට ගැනීමට නියමිත අය රහස් පොලීසියටද පුප්පාගෙන මහේස්ත්‍රාත් නිල නිවාසවලට රිංගන අධිකරණ පද්ධතියක තවදුරටත් ගත යුත්තක් තිබේද? යන්න වෙනම කල්පනා කළ යුතුය. වැදගත්ම කාරණය වන්නේ වත්මන් ආණ්ඩුවේ දේශපාලඥයන්ගේ රැකවරණයද මෙවැනි ඇතැම් පුද්ගලයන් වෙත ලැබී ඇති බව අනාවරණය වීමයි. 

මේ අතරම, තවත් සමහර චූදිතයන් කිසි දා අත්අඩංගුවට නොගන්නා බවට ‘ඉහළින්’ සැනසුම් වදන් නිකුත් වී ඇති බවද පසුගිය කාලයේ වාර්තා විය. මේවා බරපතලෙට ගත යුතු සිදුවීම් නොවේද? 

මේවා ජනවාරි 08 අප විසින් ප්‍රතික්ෂේප කරන ලද මහින්ද රෙජීමයේ ලක්ෂණද? 

යහපාලනයේ ලක්ෂණද? 

අශාන් වීරසිංහ | Ashan Weerasinghe

No comments:

Post a Comment