Wednesday, May 24, 2017

Bending (or lifting the sarong) the back to Good Governance!


Bending (or lifting the sarong) the back to Good Governance!

Meva Ali Wada of Yahapalanaya

නිමල් අබේසිංහ 

 රාජ්‍ය දේපළ ගණයට වැටෙන වන අලි ඇතුන් නිසි අවසරයකින් තොරව සන්තකයේ තබා ගැනීම බරපතළ වරදකි. එනමුදු 2014 වර්ෂයේදී විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද විගණන විමසුමකදී නීති විරෝධීව කැලයෙන් හොරෙන් අල්ලා ගන්නා ලදුව මෙරට තුළ අලි ඇතුන් 39 දෙනකු පෞද්ගලික සන්තකයේ තබාගෙන සිටින බව හෙළිදරව් කළේය. එම අලි ඇතුන්ට අදාළව කූඨලේඛන සකසා, පෞද්ගලික අංශයේ ලියාපදිංචි අලින් පිළිබඳ තොරතුරු ඇතුළත් අලි පොතෙහි තොරතුරුද විකෘති කරමින් සිදුකර තිබූ මේ මහා ජාවාරම හෙළිදරව් වීමත් සමඟම 2015දී බලයට පැමිණි නව රජය ඊට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ගද ගනු ලැබීය. එවැනි වාතාවරණයක් තුළ, පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්වුණු පත්‍රිකාවකින් කියැවුණේ, පින්නවල අලි අනාථාගාරයේ සිටින අලින්ගෙන් තෝරාගත් කොටසක් විහාරස්ථාන හා පෞද්ගලික භාරකරුවන් වෙත නඩත්තුව සඳහා භාරදිය යුතු බවය. එදින එම කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබුණු බවද මාධ්‍ය වාර්තා කළේය. මේ ලිපිය පෙළ ගැසෙන්නේ ඒ පසුබිම මතය.යහපාලන ආණ්ඩුව බලයට පැමිණි විගසම එහි සාධනීය ලක්ෂණ ප්‍රදර්ශනය කරමින් ගත් වැදගත් තීන්දු අතර මහින්ද යුගයේදී ජාවාරම්කාරයන් විසින් කැලෙන් අල්ලාගෙන තමන් සන්තකයේ තබාගෙන සිටි හොර අලි ඇතුන් අත්අඩංගුවට ගෙන එම සතුන් සන්තකයේ තබාගෙන සිටි අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම දක්නට ලැබෙයි. මෙම චෞරයන්යැයි චෝදනා ලැබූවන් ගොන්නට උඩුවේ ධම්මාලෝක හිමි වැනි බෞද්ධ භික්ෂූන්ද, තිළිණ ගමගේ වැනි මහේස්ත්‍රාත්වරුන්ද අයත් වූ අතර ඉන් සමහරුන්ට මොහොතකට හෝ රක්ෂිත බන්ධනාගාර ගතවෙන්නටද සිදුවිය. තිබෙන තොරතුරු අනුව වනයෙන් හොරෙන් අල්ලාගෙන ඇති අලි ඇතුන්ගේ ප්‍රමාණය 39 දෙනෙකි. මේ වනවිට එම අලි ඇතුන්ගෙන් 37 දෙනෙකුම අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු කෙරෙහි යොමුකර ඇති අතර, එම අලි ඇතුන් අධිකරණය මාර්ගයෙන් පින්නවල අලි අනාථාගාරය හා උඩවලවේ ඇත් අතුරු සෙවණේ රඳවා ඇත. ඒ අනුව නම් තවත් අලි පැටවුන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඔවුන් සන්තකයේ තබා ගත් අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුව තිබේ. ඒ වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක පනතේ 22 .:* වගන්තියට අනුවය. එය මෙසේ වෙයි.
ලියාපදිංචි කර ඇත්නම් මිස හා මෙම වගන්තියේ විධිවිධාන අනුව ඇතා සම්බන්ධයෙන් බලපත්‍රයක් ලබා ඇත්නම් මිස ඇතකු අයිතිව සිටීම, තම භාරයෙහි තබා ගැනීම හෝ ඇතකුගෙන් ප්‍රයෝජන ගැනීම කිසිම තැනැත්තෙකු විසින් නොකළ යුතුය.”
රජය සතු දේපොළ යටතට ගැනෙන අලි ඇතුන් අනවසරයෙන් තබා ගැනීම සම්බන්ධයෙන් වන දඬුවම්ද ඉහළ පරාසයක පවතින අතර එය පනතේ සඳහන් වන්නේ මෙලෙසය.
“23 :(I) ඇතකු නීති විරෝධී ලෙස සන්තකයෙහි තබාගෙන සිටින තැනැත්තෙක් වරදක් කරන අතර වරද කරනු ලැබූ විට ඒ තැනැත්තා රුපියල් එක් ලක්ෂයකට නොඅඩු සහ රුපියල් දෙලක්ෂයකට නොවැඩි දඩයකට හෝ දස අවුරුද්දකට නොඅඩු හා විසි අවුරුද්දකට නොවැඩි කාලයකට දෙආකාරයෙන් එක් ආකාරයකට බන්ධනාගාරගත කිරීමකට හෝ එකී දඩය හා බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකටම හෝ යටත් වන්නේය.”

රජයේ දේපොළක් ලෙස සැලකෙන අලි ඇතුන් සම්බන්ධයෙන් පවතින නීතිය එසේ වුවත් නීත්‍යනුකූල නොවන ආකාරයෙන් තවමත් අලි පැටවුන් තබාගෙන සිටින ස්ථාන දෙකක් පිළිබඳ තොරතුරු අපට දැනගන්නට ඇත. ඒ කොළඹ හුණුපිටියේ ගංගාරාම විහාරස්ථානයේ සහ කතරගම කිරිවෙහෙර විහාරස්ථානයේය. මෙම අලි පැටවුන් දෙදෙනා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවන්නේ ඇයි? එසේත් නැත්නම් නීතිය නැවෙන්නේ ඇයිද යන ප්‍රශ්න මතුවෙයි. බළලා මල්ලෙන් එළියට පැන්නේ මේ මොහොතේය. ඒ නීති විරෝධී අයුරින් අලි ඇතුන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ යුතුය යන දැඩි මතධාරීව සිටි තිරසාර සංවර්ධන සහ වනජීවී අමාත්‍ය ජයවික්‍රම පෙරේරාම පින්නවල අලි අනාථාගාරයේ හා උඩවලව ඇත් අතුරු සෙවණේ රඳවා සිටින අලි ඇතුන් සුදුසුකම් ඇති පුද්ගලයන් හා පූජ්‍ය ස්ථානවලට ලබාදීම සඳහා ඉදිරිපත් කර සම්මතව ඇති කැබිනට් සංදේශය හරහායි. ඒ අනුව සත්ව උද්‍යානවල සිටින හොඳම අලි පැටවුන් පිටස්තරයන්ට ලබාගැනීමේ අවස්ථාව හිමිවෙයි. අලි දොළදුකෙන් සිටින පන්සල්වල නායක හිමිවරුන්ට හා සල්ලිකාරයන්ට මෙන්ම අලි ඇතුන් සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් යොදා ලක්‍ෂ ගණන් හරිහම්බ කරගන්නා ජාවාරම්කාරයන්ටත් මේ අනුව රජයේ සහයෝගයෙන් අලියකු ලබාගෙන සන්තකයේ තබාගත හැකිය. මේ නිසා හොර අලින් සන්තකයේ තබාගෙන සිටීමට එරෙහිව පවරා ඇති නඩුවලටද අගතියක් සිදුවීමට ඉඩක් ඇතිවන බැවින් එම නඩු අහක යෑමේ ඉඩක්ද පවතී. ගාමිණී ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයාගේ කැබිනට් පත්‍රිකාව අනුව පින්නවල අලි අනාථාගාරයේ මේ වනවිට අලි ඇතුන් 88 දෙනෙකු රඳවා තිබෙන අතර අක්කර 30ක් වැනි එහි භූමි ප්‍රමාණයේදී එම සතුන් තබාගෙන නඩත්තු කළ නොහැකිය. ආණ්ඩුවේ ජාවාරමක් ඇමතිවරයා කැබිනට් පත්‍රිකාවෙන් කියන මේ දේ අමුලික බොරුවක් වන්නේ, සත්වෝද්‍යාන ආරංචි මාර්ගවලට අනුව නම් ඇත්ත වශයෙන්ම පින්නවල රඳවා තබාගත හැකි අලි ඇතුන් ප්‍රමාණය කොපමණදැයි අධ්‍යයනයක් කර නැති නිසාය. එසේ නොවූවත්, ඔය කියන ‘තබාගත නොහැකි’ අලි ඇතුන් ගාල් කළ හැකි තවත් අතිරේක ස්ථාන වනජීවී දෙපාර්තමේන්තුව සතුව තිබේ. හෙක්ටයාර් තුන්දහසකින් සමන්විත හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය මින් ප්‍රධානය. එයට අමතරව ලුණුගම්වෙහෙර වන රක්ෂිතය වැනි ස්ථානද තිබේ. ඒ නිසා, වැඩි අලි මේ ආණ්ඩුවේම තැන්වලට යවනවා මිස, ගෙවල්වලට පන්සල්වලට බාරදීම වනාහි ආණ්ඩුවේ ජාවාරමක් බව පැහැදිලිව කිව යුතුය. කැලෙත් අල්ලාගෙන කූඨලේඛන සහිතව හොරෙන් තබාගෙන සිට නඩු පවරා නඩු භාණ්ඩ ලෙස පින්නවල සහ උඩවලව ඇත් අතුරු සෙවණේ රඳවා සිටින අලින් ඔවුන් භාරදෙන විට සිටි ශාරීරික තත්ත්වයන් සහ තවමත් තිබෙන රෝගී තත්ත්වයන් පිළිබඳව වඩාත් සැලකිල්ලට ගැනීම මෙහිලා වැදගත්ය. ප්‍රධාන හේතුව වන්නේ මේ අලි ඇතුන් හිමියන් දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔවුන්ට සලකා ඇති ආකාරයයි. ඒ අනුව ඔවුන්ට පවතින රෝගාබාධ ඒ පිළිබඳ විශේෂඥයන් හඳුනාගෙන ඇත. තවමත් තුවාල පවතින අලින්, සදාකාලික ආබාධ පවතින අලින්, ඇසේ සුද සහිත අලින්, නොණ්ඩි ගසන අලින්, කකුල් දිරායෑමේ රෝගයට ගොදුරු වුණු අලින්, ඇඟ පුරා තුවාල ගැටිති සහිත අලින්, ක්ෂය රෝගය වැළඳී සිටි අලින්, නියපොතු පුපුරා ගිය අලින් මෙම අලි ගොන්නේ සිටින බව පශු වෛද්‍යවරුන් හඳුනාගෙන ඇත. මේ සඳහා හොඳම උදාහරණය වන්නේ හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේ සතුව සිටි අලි පැටවාය. චූටි මහත්තයා නැතිනම් සකුරා නමින් හඳුන්වන අලි පැටියාගේ කකුල්වල දම්වැල්වලට කැපුණ තුවාල කැළල් තවමත් පවතින අතර, ඒ සතාගේ එක් කකුලක් සදාකාලිකවම ඉදිමුණු ස්වභාවයක් පවතී. ගෙනාවේ අපායෙන් සිඟිති, භානු, චූටි මැණිකේ, තාරක, දෙව්මි, සුද්දි, සන්දක, සීදේවි, ගංගා, පංචාලි. සංඛ සකුරා (චූටි මහත්තයා) ආදි වශයෙන් හුරතල් මෙන්ම අනගි අරුත් දනවන නම්වලින් ඔවුන් හැඳින්වුවත් තිබූ ශාරීරික තුවාල හා රෝගාබාධයන් අනුව ඔවුන් රැගෙනවිත් ඇත්තේ අපායේ සිට බැව් මේ අලින් රඳවා ඇති රැඳවුම් මධ්‍යස්ථානයන්හි පිරිස් පවසන්නේ උපහාසයෙනි. මෙම අලි පැටවුන් සම්බන්ධයෙන් වන ශෝකය දනවන කතාවක්ද වෙයි. ඒ උඩවලව ඇත් අතුරු සෙවණින් වනයට මුදාහළ අලි පැටවුන් සම්බන්ධයෙන්ය. සිරිතක් ලෙසටම එවැනි අලින් මුදා හැරීමට පෙර උන්ගේ ශරීරයට කුඩා විද්‍යුත් චිපයක් ඇතුළු කරනු ලබයි. කුඩා අල්පෙනෙත්තකින් හතරෙන් පංගුවකටත් වඩා අඩු ප්‍රමාණයක වන මෙම චිපය අලියාගේ ස්වභාවය අනුව කන පිටුපස. උරහිසේ හෝ පිටුපස ගාතයක, තට්ටම් ප්‍රදේශයට කාවද්දන බව කියැවේ. එම චිපය ඉලක්කම් පහළොවකින් යුත් අංකයකින් යුතුය. අලි හොරුන් හා ජාවාරම්කාරයන් විසින් මෙසේ නිදහස් කළ අලින්ද නැවතත් අල්ලාගෙන විකුණා ඇති බවට සැක පහළවන්නේ, අත්අඩංගුවට ගෙන රැඳවුම්භාරයේ තබා ඇති අලින්ගේ සිරුරුවල චිපය රඳවා ඇතැයි සැකකෙරෙන ස්ථානවල පවතින තුවාල කැළල් හේතුවෙනි. චිපය ඇත්දැයි යන්න සොයාගත හැකිවන්නේ ඒ භාවිතයට ගන්නා විශේෂ ඉලෙක්ට්‍රොනික උපකරණයක ආධාරයෙනි. එවැනි උපකරණ ඇත්තේ වනජීවී දෙපාර්තමේන්තුව සතුව පමණක් බවද තතු දත් අය කියති. දැන් නැවතත් ආගමික සිද්ධස්ථානවලට හා පුද්ගලයන්ට අලි ඇතුන් ලබාදීමේ රජයේ ප්‍රතිපත්තිය දෙසට යොමුවුවහොත් ඒ තුළ කිසියම් අබිරහසක් ඇති බව පෙනෙයි. එය කුමක් විය හැකිද? එය දැනට අත්අඩංගුවට ගෙන නැති අලි හිමිකරුවන්ට ඇති බලපරාක්‍රමය නොවෙතියි සිතිය නොහැකිද? එය යහපාලනය අපේක්ෂා කළ යහපාලන ආණ්ඩුව බලයට පත් කළ ජනතාවගේ අපේක්ෂාවන්ට දුන් පා පහරක් නොවන්නේද? අලියකු හීලෑ කිරීම ලෙහෙසි පහසු දෙයක් නොවන බව ඇත්ගොව්වෝ පවසති. සුප්‍රසිද්ධ පශු වෛද්‍යවරයෙකු මෙන්ම වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ වෛද්‍ය නන්දන අතපත්තු පවසන්නේ අලියෙකු හීලෑ කිරීම සඳහා උපයෝගී කරගන්නා ක්‍රමවේද ඉතාම දරුණු ගණයේ ඒවා බවයි. ඒ මගින් අලියාට පහරදීම් අඩන්තේට්ටම් කිරීම් පමණක් නොව අවමන් කිරීම්ද සිදුකෙරෙන බවද ඔහු කියයි. මෙතරම් දරුණු නින්දිත උපක්‍රම මගින් හීලෑකර ගන්නා අලියෙකුගේ මාසික නඩත්තුවට රුපියල් ලක්ෂ දෙකහමාරේ සිට ලක්ෂ තුන දක්වා මුදලක් වැයවෙයි. මේ සා මුදල් සම්භාරයක් වියදම් කර අලියෙකු නඩත්තු කිරීමෙන් අනතුරුව අලි හිමියා අලියාගෙන් ආදායම් උත්පාදනයක් බලාපොරොත්තු නොවන්නේද? සැබැවින්ම අලි ඇතුන්ගෙන් ආදායම් උත්පාදනය ඔවුන්ගෙන් ඒකායන පරමාර්ථයයි. පෙරහැරේ යැවීමෙන් හෝ වේවා වෙනත් කාර්යයක යෙදවීමෙන් හෝ වේවා අපේක්ෂා කරනුයේ ආදායම් උත්පාදනයක්මය. මේ ආදායම් උත්පාදන මාර්ග අතරේ අලියෙකුට දැඩිම වෙහෙසකට පත්වන්නට සිදුවන්නේ හබරණ ප්‍රදේශය ආශ්‍රිතව පවතින ‘අලි සෆාරි’ නමින් හැඳින්වෙන විදේශිකයන්ට අලින් පිටේ යෑමට ලබාදීමේ අවස්ථාවයි. එහිදී අලියාගේ පිට මත තබන සෑදලය හිරකිරීම සඳහා උගේ පපුව හරහා යැවෙන යකඩ පටිය මගින් ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රියාවලියටත් පෙනහලුවලටත් දැඩි අනතුරු සිදුවෙන බව පශුවෛද්‍ය මතයයි. ඉදින් මේ සැරසෙන්නේ රජයට අලි නඩත්තු කිරීමට නොහැකි බව පෙන්වමින් නැවතත් තමනට අවශ්‍ය පුද්ගලයන්ට අලි ඇතුන් ලබාදීමේ ක්‍රමයකට මිසෙක වෙන කිසිවකට නොවේ. බලවතුන්ගේ අවශ්‍යතාවට අලි ඇතුන් බිල්ලට දීමකි. දේවාල හා විහාරස්ථානවල පෙරහැර සඳහා ප්‍රමාණවත් අලි ඇතුන් නැති බවටද අද නැගෙන කංකෙඳිරියක් ඇත. රටෙහි දැනට සිටින හීලෑ අලි ඇතුන් මෙකී පෙරහැර සඳහා ප්‍රමාණවත් නොවන්නේද? එසේ නොවන්නේ සියලු අලි ඇතුන් ඒ සඳහා සහභාගි නොකරවීම නිසාද යන්න නොකියයි. එයද සඟවන රහසකි. වනජීවී දෙපාර්තමේන්තුවට සම්බන්ධ පශු වෛද්‍යවරුන් දක්වන අදහස් අනුව අලියෙකු නඩත්තු කිරීම ලෙහෙසි පහසු දෙයක් නොවේ. අලියෙකුගේ දෛනික ආහාර, ජලය සහ බෙහෙත් හේත් නිසි ලෙස සැපයීම අසීරුය. අත්අඩංගුවට ගත් අලි ඇතුන්ගේ තත්ත්වය පිරික්සීමේදී ඒ බව හොඳින්ම තහවුරු වෙන බවද ඔවුහු කියති.