Friday, April 14, 2017

"Abuddhassa Kale Lubuth Thiththa Venawa"

"Abuddhassa Kale Lubuth Thiththa Venawa"

Reproduction

හිරි ඔතප් බිඳ ගැනීම

පසුගිය දිනක, මම මොරගහහේන- තලගල, සුනේත්‍රාරාම විහාරස්ථානය වෙත ගියෙමි. කළු කලිසම සහ දිග කමිසයකින් මම සැරසී සිටියෙමි. පන්සලෙහි, ගල් පඩිපෙළ අසල දී, යම් දැන්වීමක් මාගේ ගමන වැළැක්වීය. දැන්වීම නම් “විහාරස්ථාන යනු, සිත සන්සුන්කර, සිත සුවපත්කර, සිත සංවර්ධනය කර, මෙලොව- පරලොව සුබසෙත සලසන ස්ථානයයි. එම නිසා මෙහි පැමිණෙන සියලුම දෙනා, සුදුවතින් සැරසී, නිශ්ශබ්දව, සංවරශිලිව හැසිරිය යුතුය.විවිධ මෝස්‌තර සහ යුරෝපිය ජාතින් අදින ඇදුම් බුදුරදුන් වැඩසිටින විහාරස්ථානයට නොගැලපේ.” මා හට එම අවස්ථාවේදී තෝරා ගැනීම් දෙකක් විය. එක් තෝරා ගැනීමක් නම්, පන්සලෙහි සිතුවම් හි වන, ස්ත්‍රී රුප ලෙස, කලිසම සහ කමිසය උනාදමා, ඇගේ වු තන පටය සමග, කරෙහි වු උත්තර සාටකය ඉන වටෙහි බැඳ පන්සල තුලට පැමිණීමය. නොඑසේනම්, පන්සල තුලට නොගොස් හැරී යාමය. කෙසේ නමුත් මා මිතුරන්ගේ අදහසට අනුව, දැන්වීම පලකර තිබු, විහාරස්ථානාධිපති, එම ස්ථානයෙන් පිටත්ව ගිය පසු, මා විහාරස්ථානය වෙත ගියෙමි.
පඩිපෙළ බැස නැවත පැමිණෙන විට, අමුතු බුදු දහම පවතින ස්ථානයේ පරිසරය සිසාරා බැලු මම පුදුමයට පත්වුවේමි. ඒ පර යුරෝපියන් හඳුන්වා දුන් රබර් වතු වගාව, පන්සල් භුමියේ අපුරුවට කරගෙන යාම හේතුවෙනි. K.M.De. Silva ගේ A History of Sri Lanka(1981) නම් කෘතියට අනුව, 1877දී බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් මෙරටට රබර් හඳුන්වා දෙන ලදී. යුරෝපිය ජාතියක් වන, බ්‍රිතාන්‍යයන් හඳුන්වා දුන්, රබර් වගාව, බුදුරදුන් වැඩසිටින විහාරස්ථානයට ගැලපිමත්, එකී ජාතිකයන්ගේ ඇඳුම් බුදුරදුන් වැඩසිටින විහාරස්ථානයට නොගැලපිමත්, තකතීරු, පිළිවෙතකි. විචාර බුද්ධියෙන් තොරව, එවැනි පිළිවෙත්, විහාරස්ථාන වැනි පොදු ස්ථානයන්හි පවත්වා ගැනීමත්, ඒ සඳහා රුකුල් දීමත් අමන හැසිරීම් වේ.
විහාරස්තාන කිසිදු චීවරධාරියෙකුගේ පෞද්ගලික දේපලක් නොවිය යුතුය. එකී ස්ථාන, තමාගේ පෞද්ගලික – පුරුෂාධිපත්‍යය න්‍යයපත්‍රයෙන් මුදවා ගත යුතුය. බුදු දහම සිංහල නෙවේ. එය, විශ්වීය ධර්මයකි. විශ්වීය ධර්මයක් වෙත, සිංහල- පීතෘමූලිකාංගන් ආරෝපණය කිරීමට වගකිව යුතු සියලුම චීවරධාරීන්, තමන්ගේ සමාජ හැසිරීම් පිලිබද ලැජ්ජා විය යුතුය.
මෙකී දැන්වීම සමග බැඳි මා වෙත වූ අනෙක් ගැටළුව නම්, සුදු වතින් සැරසීම, නිශ්ශබ්ද වීම සංවරශීලිත්වය උපයාදෙන මාර්ග වන්නේ කෙසේද? සිත, කය සහ වචනයේ සංවර බව, සුදු වතින් සැරසීමේන් හෝ නිශ්ශබ්ද වීමන් ඇති නොවේ. ප්‍රමාණාත්මක දහස් ගණන් වන ආමිස පුජා පැවැත්වෙන ස්ථාන වෙත, පැමිණෙන සුදු වතින් සැරසුනු ජනයා, ආපසු යනවිට, සමස්ත පරිසරයම පොලිතින් සහ අනෙකුත් අපද්‍රව්‍ය හලා කෙලෙසා යන්නේ, වස්ත්‍රයෙන් සංවරබව ඇතිකිරීමට අපේක්ෂාකිරීම, මිත්‍යාවක් බව පෙන්වා දෙමිනි. බොහෝ චීවරධාරීන් පමණක් නොව, ආණ්ඩුකරන පුද්ගලන් ද, තමාගේ ක්‍රියාකාරකම් ප්‍රශ්න නොකර පිළිගන්නා, නිශ්ශබ්ද ජනයාට මනාපය. තම ක්‍රියා කාරකම් ප්‍රශ්න කරණ ජනයා අතුරුදහන් කිරීම දේශපාලකයින් විසින් සිදුකරන අතර චීවරධාරීන් විසින් එකී ජනයා තම සමාජ කවයෙන් පිටිවහල් කිරීම සිදුකරයි. ජනයාගෙන් බදු මුදලින්, පරිත්‍යාගයන්ගෙන් යැපෙන මෙම දෙපාර්ශවයම, ජනතාව සංවර කිරීම සඳහා, ඔවුන් නිශ්ශබ්ද කර ආකෘතිකරනයට ලක් කරයි. මෙකී දේශපාලකයින් සහ චීවරධාරීන් ඉහලින් පිළිගන්නා, මහජනතාවද තමාගේ හිරි ඔතප් හි ස්වාභාවය පිලිබද නැවත සිතා බැලිය යුතුය.
ඉහත සදහන් අනුභාවික සිදුවීම, මේ මොහොතේ ශ්‍රී ලාංකීය දේශපාලනයේ එක් පැතිකඩක් නිරාවරණය කරයි. එනම්, පවතින පිඩක සමාජ ක්‍රමය, ආගම හරහා පුනර් නිෂ්පාදනය වීමය. මෙම පුනර් නිෂ්පාදනයේ ප්‍රාථමික වින්දිතයා , ස්ත්‍රිය යි. යුරෝපා ඇඳුම් ස්ත්‍රියට තහනම් වුවද, කලිසම් ඇදී ,සිංහල- බෞද්ධ පුරුෂයාට, එම විහාරස්‌ථාන භූමිය තහනම් නොවීය. ස්ත්‍රිය දිග කලිසම් ඇදීම, මෙකී විහාරස්ථාන අධිපතිවරයාගේ මනස් ඍෂ්ටිය වෙත තර්ජනය කිරීමකි. හෙතම, ස්ත්‍රිය පිළිබද, දකින මනහ්කල්පිතය, යුරෝපා ඇදුම් ඇදීමෙන් බිදවැටීම හේතුවෙන් හිමිවන වේදනාව වලක්වා ගැනීම වෙනුවෙන්, විහාරස්‌ථානාධිපිතිවරයා, ස්ත්‍රීන් වෙත පීඩනයක් යොමුකරමින්, ඇය විහාරස්ථාය වෙත පැමිණිය යුතු ආකාරය පිළිබද බලහත් කාර ලෙස උපදෙස් නිකුත් කර ඇත. මෙම විහාරස්‌ථානාධිපතිවරයාගේ ක්‍රියකලාපයේම දිගුවක් ලෙස වර්තමාන ශ්‍රී ලංකා දේශපාලනය හැදින්විය හැකිය. 


විහාරස්‌ථානාධිපතිවරයා හා සමවන වර්තමාන ශ්‍රී ලංකා ආණ්ඩුව, තම දේශපාලන මනස්ඍෂ්ටිය ඉටුකරගැනීම වෙනුවෙන් විවිධ දැන්වීම් ප්‍රසිද්ධකර ඇත. 

නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරගැනීම උදෙසා වන දැන්වීම එක් උදාහරණයකි. අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය මුලික අවශ්‍යතාවක් වුවද, ඒ තුල බලය බෙදාහැරීම සහ බෙදාහැරීමේ ආකෘතිය පිළිබද කිසිදු කතිකාවතක් ආණ්ඩුව වෙතින් ප්‍රකාශ නොවේ.
ව්‍යවස්ථාව සදහා වන ආණ්ඩුවේ දැන්වීමේ අන්තර්ගත වන්නේ ‘ඒකීය රාජ්‍යක්’ තුල බලය බෙදීමය. එහෙත් උතුර පසුගිය අවුරුදු 30ට වැඩි අවධියක් පුරාම ඉල්ලා සිටියේ, බලය විමධ්‍යගතකිරීමකි. එකී ඉල්ලීමේ, අවසානම අවස්ථාව වූයේ, වෙනම රාජ්‍යක් වෙනුවෙන් කෘෘතර යුද්ධයක් වෙත රට ගමන් කිරීමය. බලය විමධ්‍යගතකිරීම, දකුණ නිරන්තරයෙන් හදුනාගනු ලැබුවේ, රට බෙදීමක් ලෙසය. එහිදී, යුරෝපා ඇඳුමෙන් විලිවසා පන්සල් යාම, බුදුන් කෝප කිරීමක් ලෙස අර්ථකථනය කල ඉහත කී විහාරස්‌ථානාධිපතිවරයා මෙන්, මේ ආණ්ඩුවද, බලය බෙදීම රට බේදීමක් ලෙස හදුන්වමින් දකුණ, උතුරෙන් වෙන්කර, දකුණේ ජනයා උතුරේ ජනයා වේත ප්‍රකෝප කරනු ලබයි. එසේම විහාරස්‌ථානාධිපතිවරයා, කිසිදු හිරිකිතයකින් තොරව යුරෝපා ජාතිකයන් හදුන්වාදුන් රබර් මගින් අදායම් උපයන ආකාරයටම, ආණ්ඩුවද අන්තර්ජාතික ප්‍රජාව වෙතගොස්, විලි ලැජ්ජාවකින් තොරව තමා උතුරේ ප්‍රශ්න විසඳන බව පවසමින් ආර්ථික සහන ඉල්ලා සිටි. විහාරස්‌ථානාධිපතිවරයාගේ ක්‍රියාවලියෙන් ස්ත්‍රීන් පිඩාවට පත්වන්නා සේම, ආණ්ඩුවේ ක්‍රියාවලියෙන් උතුරේ ජනතාව පිඩාවට පත්වේ. ස්ත්‍රී පිඩාව, විහාරස්‌ථානාධිපතිවරයා සාධාරණීකරණය කරනු ලැබනේනේ බුදුන්ගේ නාමයෙනි. ආණ්ඩුව තම පිඩාව සාධාරණීකරණය කරනු ලබනේනේ රටේ ඒකීයභාවයේ නාමයෙනි.
අතුරුදහන් වූ දරුවන් පිලිබඳ ආණ්ඩුවේ ප්‍රතිපතියද විහාරස්‌ථානාධිපතිවරයාගේ ක්‍රියාවට නෙදෙවෙනි වේ. පසුගිය දිනක, වර්තමාන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මාධ්‍ය වෙත පවසා තිබුනේ, අතුරුදහන්ව ඇති පුද්ගලයන් සියල්ල මරා දමා නොමැති බවය. නිශ්චිත සංඛ්‍යාලේඛන නොමැති, අතුරුදහන් කරන ලද පුද්ගලයන් සෙවීම සහ ඔවුන්ගේ තොරතුරැ සැපයීම සම්බන්දව තිරසාර වැඩපිළිවෙලක් අදටත් ආණ්ඩුවට නොමැත. 

අතුරුදහන් වූ තම දරුවන් සොයා අදටත් වද විඳින්නේ එකී දරුවන්ගේ අදාරණීයන් පමණි. 

ඔවුන්, මුර මාරුවීමේ ක්‍රමයක් තුල තම අතුරුදහන් වූ දරුන්වන් සහ අදරණීයන් ඉල්ලා උපවාසයක නිරිත වේ. වව්නියාවේ පවතින එකී උපවාසයේ යේදී සිටින එක් මවක් පැවසුවේ, ඇයගේ දරුවා, වර්තමාන ජනාධිපතිවරයා සහභාගී වූ පාසල් උළෙලක, ඔහු සමග ජායාරූපයක පෙනී සිටින අතර එකී ජායාරූපය, මුද්‍රිත මාධ්‍යයේ පළවූ බවය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා, සෞඛ්‍ය ඇමතිවරයාව සිටි අවදියේදී සහභාගී වූ පාසැල් උත්සව පිලිබද වන දිනපොත සුපරික්ෂාකාරීව විමර්ශනය මගින්, මෙකී දරුවාගේ තොරතුරු ලබාගත හැකිය. 

එහෙත්, විහාරස්‌ථානාධිපතිවරයා, ගැහැණුන්ගේ ගත ආවරණයෙන් පිරිමියා හික්මීමට උත්සාහා කරන ලෙස, ජනාධිපතිවරයා ද තමාගේ දේශපාලන න්‍යායපත්‍රයට අනුව, අතුරුදහන් වූවන් සඳහා අවධානය යොමු කරනු වෙනුවට, හමුදා ශ්‍රමිකයන් සුරක්ෂිත කිරීමට අවධානය යොමුකර ඇත. 

උතුරේ හමුදා බලහාත්කාරය යටතේ වන ඉඩම් සම්බන්ධයෙන්ද ආණ්ඩුවේ හැසිරීම විහාරස්‌ථානාධිපතිවරයා හා සමාන වේ. තම පාරම්පරික ඉඩම් හමුදා බලහත්කාර යටත් කිරීමෙන් මුදවා ගැනීම වෙනුවෙන් අරගල කිරීමට උතුරේ ජනතාවට සිදුවී ඇත. තිස් අවුරුදු යුද්ධයේදී ද, තම ජීවිතය බංකර සහ මඩ දුවිලි පිරි වැල්ලේ සගවා ගත් ආකාරයටම, අදත් තම ඉඩම් ඉල්ලා බලහත්කාරයෙන් ගොඩ නැගී හමුදා කදවුරු ඉදිරියේ දුවිලි කමින්, කුසට ආහාර නොමැතිව, තම දෛනික ජීවිතය අඩාල කරගනිමින් ඔවුන් අරගලයක නිරතවී ඇත. 

විහාරස්‌ථානාධිපතිවරයා තමාගේ සිත හික්මවා ගැනීමට ස්ත්‍රීන් වෙත කලිසම් ඇදීම තහනම් කරණ ආකාරයටම, වර්තමාන ආණ්ඩුවේ හැසිරීම උතුර තුල හික්මවා ගැනීම සදහා, හමුදා බලඇණි උතුරේ ජනතාවගේ ඉඩම් තුල පවත්වා ගෙන යාම යුක්ති යුක්ත බව පෙන්වාදීමට උත්සුක වේ.

යුද්ධයෙන් පසුව සාමය ගොඩ නැංවීම යනු උතුරට සහ නැගෙනහිරට පමණක් සිමා වූ ක්‍රියාවලියක් නොවේ. සාමය ගොඩනැගීම වෙනුවෙන් ඕනෑම ආකාරයක ප්‍රචණ්ඩත්වයක් මුලින් උපුටා දැමිය යුතුය. ප්‍රචණ්ඩත්වය වෙනුවෙන් අනුබල දෙනු ලබන ආයතන නිර්දය ලෙස විවේචනය කරමින්, ප්‍රතික්ෂේප කළ යුතුය. යම් ආගමකට හෝ සංස්කෘතියක් වෙත ගරු කිරීම යනු එකී ආගම හෝ සංස්කෘතිය පුනර් නිෂ්පාදනය කරනු ලබන පුද්ගල නිදහසට එරෙහි ප්‍රචණ්ඩත්වය පිළිගැනිම නොවේ. 
එසේ ආගමේ හෝ සංස්කෘතියේ නාමයෙන් ප්‍රචණ්ඩත්වය පිළිගැනිම යනු ම හිරි සහ ඔතප් බිඳ ගැනීමකි.
 
අරුණි සමරකෝන් 
Aruni Samarakoon