Friday, October 7, 2016

We are in a cultural pit, aren't we?


Reproduction

We are in a cultural pit, aren't we?

වර්ජනය නොකර ‘වළෙන්’ ගොඩ එමු!

පේරාදෙණියේ ‘වළ’ හෙවත් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨය මෙරට නාට්‍ය කලාවේ සන්ධිස්ථානයකි. සාමාන්‍යයෙන් එකල වේදිකා නාට්‍යයක් තැනූ පසු මුලින්ම පෙන්වන්නේ වළේ බවටත් එසේ පෙන්වූ පසු යම් හෙයකින් ‘හූවක්’ වැදුණහොත් එම නාට්‍යය අන් තැන්වල පෙන්වීම නවතා දමා වැඩිදියුණු කරන බවටත් කතාවක් තිබේ. එයින් කියවෙන්නේ එක අතකින් ‘වළ’ නම් වූ මේ සුවිශේෂී කේන්ද්‍රයට හිමිව තිබුණු වැදගත්කමය. අනෙක් අතින් එකල සරසවි ශිෂ්‍යයා යන භූමිකාවේ බරසාරකමය. අද මෙන් හැම දෙයටම හූ තියමින් සිටි සිසු පරපුරක් එවක විශ්වවිද්‍යාලවල නොසිටියේය වැනි අදහසක්ද ඉන් ගම්‍ය වීම ස්වභාවිකය.
දැන් නැවතත් වළ කරළියට පැමිණ තිබේ. ඒ මෑත දිනකදී එක්තරා නාට්‍ය කණ්ඩායමක සාමාජිකයන් ඉලක්ක කරගෙන ප්‍රහාරයක් දියත් කිරීමේ සිද්ධියකට සම්බන්ධවය. හේතුව ලෙස වාර්තා වන්නේ වළේ පුහුණුවීම් අතරතුර සිගරට් පානය කිරීම නිසා ‘සරච්චන්ද්‍රගේ ආත්මයට රිදේවි’ යන බියෙන් ‘වළේ සුදා’ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන සිසුවෙකු අදාළ පිරිසට එරෙහිව වළියට බැසීම බවයි. කෙසේ වෙතත්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි පිළිබඳ හිටපු මහාචාර්ය ඈෂ්ලි හල්පේ මහතා නම් තම දේශන අතරවාරයේදී සිගරට් පානය කළා මතු නොව සිසුන්ටද අවශ්‍ය නම් සිගරට් නොමිලේ ලබා දුන් බවද අප අසා ඇත.
සිගරට් බීම සෞඛ්‍යමය ප්‍රශ්නයක් හැටියට මිස සංස්කෘතිකමය ප්‍රශ්නයක් හැටියට ගත යුතු නැත. අනික වළේ සිට දුම් පානය කළා කියා සරච්චන්ද්‍ර මහතාගේ ආත්මයට රිදෙන්නට හේතුවක්ද නැත. ඇත්ත වශයෙන්ම රිදෙන්නේ ප්‍රසිද්ධ සමාජය ඉදිරියේ වළ ‘කක්කුස්සි වළක්’ තරමට පිරිහෙන ආකාරයේ පහත් වැඩ කරන මෙවැනි පසුගාමී අඥානයින් නිසාය. ඒ බව මේ වන විට සමාජ මාධ්‍ය ආශ්‍රිතව පළ වන ඇතැම් අදහස් දකින විට පැහැදිලිව පෙනේ. කෙසේ වෙතත් මේ කාරණයේදී අප තේරුම් ගත යුතු තවත් වැදගත් දෙයක් නම් පුරුද්දට මෙන් සමස්ථ පේරාදෙණිය විශ්වවිද්‍යාලයම පහත් කොට සැලකීමට මෙම කේවල සිද්ධිය තරම් නොවන බවයි. පේරාදෙණිය යනු ලංකාවට අති විශිෂ්ටයින් රැසක් දායාද කළ තෝතැන්නකි. ඒ අතර මේ කියන පන්නයේ ‘වළේ සුදාලා’ ත් බිහි වීම ඇත්තෙන්ම අප තේරුම් ගත යුත්තේ පේරාදෙණියේ අවුලක් ලෙස නොව නිදහස් අධ්‍යාපනය මොන තරම් හොඳ වුණත් එහිදී භාවිතයට නොගැනෙන ඇතැම් ප්‍රමිතීන් නිසා මෙවැනි අය බිහි වීමට ඉඩ තිබෙන බවයි.
මේ ඊනියා සංස්කෘතික සුචරිතවාදය පේරාදෙණියට පමණක් නොව සමස්ථ විශ්වවිද්‍යාල පද්ධතියටම නුහුරු දෙයක් නොවේ. අලුත් දෙයක් සිදු වන හැම විටම පාහේ පළමුව එහි ඇති අමුත්ත වටහා ගැනීම වෙනුවට බෙරිහන් දෙන්නට පටන් ගැනීමද අලුත් දෙයක් නොවේ. අදටත් අප රටේ විශ්වවිද්‍යාලවල ත්‍රී ක්වාටර් ඇතුළු කොට කලිසම් අඳින්නට තහනම්ය. ඊට හේතුව එමගින් විශ්වවිද්‍යාලයේ අභිමානයට හානියක් වන බවය. එහෙත් සිසු හුවමාරු වැඩසටහන්වල ප්‍රතිඵලයක් ලෙස ඕනෑ තරම් විදේශීය සිසුන් සහ සිසුවියන් කොට කලිසම් ඇඳ එහෙ මෙහෙ යන අයුරු පේරාදෙණියේදී මා දැක ඇත. මහත් කෑදරකමින් බලා සිටිනවා විනා සුදුරුදු බෙරිහන් දීම අරඹන්නට ඉදිරිපත් නොවන්නේ “කලිසම ඔලුවෙන් ගලවනවා” යන සුපුරුදු පාඨය ඉංග්‍රීසියෙන් කියන්නට බැරිකම නිසාදැයි මම නොදනිමි.
මේ මවාගත් සුචරිතවාදී උමතුව ස්වභාවිකව හටගන්නා දෙයක් නොවේ. එය වනාහි ඉතාම කූඨ අරමුණු ඉටු කර ගනු පිණිස නිර්මාණය කරගනු ලැබෙන දෙයකි. මෙහිදී අමතක කරන්නටම බැරි කාරණය නම් ලංකාවේ අසාර්ථක වාමවාදී යැයි කියාගන්නා දේශපාලනික ව්‍යාපාර සහ විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංවිධාන අතර ඇති අන්‍යොන්‍ය රඳා පැවැත්මයි. කවුරුත් දන්නා ඒ ගැන පුන පුනා විස්තර කරන්නට අවශ්‍ය නැත. මෙම සම්බන්ධතාවය උපායමාර්ගික ලෙස තම වාසියට හරවා ගැනීම සඳහා යොදා ගැනෙන ප්‍රකට උපක්‍රම දෙකක් වන්නේ විශ්වවිද්‍යාල ආශ්‍රිත නවක වධයක් පවත්වා ගනිමින් සිසුන් ඇතුළු වන තැන් පටන්ම ස්වාධීනව සිතන චින්තකයන් වෙනුවට පිට කොඳු බිඳගත් එහෙයියන් බවට පත් කිරීම සහ එහිම තවත් උපක්‍රමයක් ලෙසද හඳුනාගත හැකි ඊනියා සුචරිතවාදයයි. විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංවිධාන කොතරම් ප්‍රතික්ෂේප කරන චෝදනාවක් වුවද ඒවා මගින් නවක වධයට කිරි පොවනු ලැබෙන බව ප්‍රසිද්ධ රහසකි. තමන් කියන ඕනෑම දෙයක් කරන නිවටයින් පිරිසක් බිහි කර ගැනීම පළමුව සිදු කළ යුත්තේ වීමංසනයෙන් යුතුව ලෝකය දැකීමේ පුරුද්ද මර්දනය කිරීම වන අතර ඊට ඇති ලෙහෙසිම මග මානසික හා කායික හිංසනය ඇසුරින් අන්‍යයන් තම වහලුන් තත්ත්වයට පත් කිරීමය. මේ අතරම, විශ්වවිද්‍යාලයට ‘අගෞරව’ සිදු වීම වැළැක්වීමේ අරමුණින් නොයෙක් තහංචි රැසක්ද පනවනු ලැබේ. අවසානයේදී යූනියන් කාරයා කවුරුන් හෝ දේශපාලඥයෙකුගේ ලේකම් කෙනෙකු ලෙස ඉහළට යාමේත්, යූනියන් වැඩ කළ සාමාන්‍ය සිසුවා රස්සාවකට යාමට තරම්වත් ඉංග්‍රීසි දැනුමක් නොමැතිව සිර වීමේත් යථාර්ථය පිළිගැනීමට අපි මැලි නොවෙමු. ඉංග්‍රීසි යනුද මේ අයට අනුව සමානාත්මතාවය වනසන විෂකි!
ඇතැම් අය මෙම සිද්ධියට ප්‍රතිචාරයක් වශයෙන් කෙටි කලකට හෝ වළට නාට්‍ය ගෙන යාමෙන් වැළකී සිටිය යුතුය යන යෝජනාව කර තිබෙනු මම දුටිමි. ක්ෂණික ප්‍රතිචාරයක් වශයෙන් එය හොඳය. මෙවැනි ගෝත්‍රික අදහස් ආරක්ෂා කරන්නන් නිසා පේරාදෙණියේ වළට නාට්‍යයක්වත් ගෙන යාමට හැකියාවක් නැත වැනි පණිවුඩයක් සමාජගත කිරීමටද එය හොඳය. එහෙත්, අප විශ්වාස කරන කරුණ වන්නේ එවැනි ප්‍රතිචාරයකින් කිසිදා මේ ඊනියා සුචරිතවාදී ගෝත්‍රිකත්වය පරාජය කළ නොහැකි බවයි. එසේ සිදු කළ හැක්කේ සරසවි සිසුන් අතරට විචාරාත්මකභාවයත්, විවෘතභාවයත් හුරු කිරීමෙනි. එය කිසි විටෙක පහසු කටයුත්තක් නොවේ. එක අතකින් උසස් පෙළ විෂය මාලාවට වැඩි වෙනසක් නොමැති විෂය මාලාවක්ම විශ්වවිද්‍යාලවල කලා පීඨයේ පළමු වසර සිසුන් සඳහා නැවත උගන්වනු ලැබෙන පසුබිමක නම් එවැනි චින්තනයකින් හෙබි සිසුන් කිසිදා බිහි නොවනු ඇත (කලා පිඨ මෙහිදී විශේෂයෙන් සඳහන් කරන්නේ බොහෝ විට මෙවැනි දෑ කලා සිසුන් අතින් සිදු වීමේ ප්‍රවණතාවක් ඇති හෙයින් පමණි). විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ අවප්‍රමිතීන්ද මේ නිසා මේ තත්ත්වයට ඍජුව වගකිව යුතුය. මන්ද මේ ක්‍රමය යටතේ සිසුන්ට ඉගැන්වීම සඳහා ආචාර්යවරුන් ලෙස බිහි කරනු ලබන්නේද එහෙයියන්ම හෙයිනි. පළමු පන්තියේ සාමාර්ථයක් ගැනීම කජු කනවා වගේ පහසු කර්තව්‍යයක් වන්නේද එහෙයිනි. කළ යුතු හොඳම දෙය විශ්වවිද්‍යාල ශිෂ්ටාචාරවත් කිරීමට කැප වීමය. අධ්‍යාපන පෞද්ගලීකරණයට විරුද්ධව හඬ නගන නෝනාවරුන් හා මහත්වරුන් අධ්‍යාපනය ගෝත්‍රිකකරණයටද එරෙහි විය යුතුය.
වළ වර්ජනය කිරීම වෙනුවට අප කළ යුත්තේ වළෙන් ගොඩ ඒමය.

No comments:

Post a Comment