Tuesday, December 8, 2015

Sri-Lankan Journalists and their wet pants


Sri-Lankan Journalists and their wet pants

Reproduction 

ආණ්ඩුවේ මාධ්‍ය අප දේශපාලන කර්යයන් සඳහා යොද ගෙන නැහැ. අතීතයේ අපේ කාර්යලයන් හී සේවය කරන නිලධරීන්ට පවා ආණ්ඩුවේ මාධ්‍යයන්හි දොරවල් වස දමා තිබුණා. පුද්ගලික මාධ්‍ය දැඩි පීඩනයකට ලක් කර තිබුණා. මාධ්‍යවේදීන් මරා දැම්මා. අතුරුදහන් කළා. අතපය කැඩුවා. මේ නිසා බොහෝ දෙනා රට හැර ගිය. සමහරු නිශ්ශබ්ද වුණා. තවත් අය හීලෑ වුණා.නමුත් අද ඒ නිදහසත් අප උද කර දී තිබෙනවා. සමාජය පුරා නිදහස හා ප්‍රජතන්ත්‍රවාදය අප විහිදුවා හැර තිබෙනවා”

මේ වචන අයත්වන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ය‍. ඔහු කියන කතාවේ බොහෝ දේ ඇත්ත ය.  
මාධ්‍ය නිදහස රාජපක්ෂ පාලනයේ තහනම් වචනය විය.  
අද එහෙම නැත.
එසේ නමුත් මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් ආණ්ඩුවේ දේශපාලන හැසිරීම පෙන්වන රාජ්‍ය මාධ්‍ය සම්බන්ධයෙන් නම් යහපත් වර්ධනයක් දක්නට නැත. ආණ්ඩුව මාධ්‍ය නිදහස සහ මාධ්‍ය ආචාර ධර්ම සම්බන්ධයෙන් දක්වන ආකල්පයේ සහ භාවිතයේ කැඩපත රාජ්‍ය මාධ්‍ය යි.
රාජ්‍ය ජනමාධ්‍ය ස්වාධීන නැති නම් අනෙක් මාධ්‍ය ස්වාධීන වන්නේ කෙසේ ද
රාජ්‍ය මාධ්‍ය බලයට පත්න දේශපාලන පක්ෂයේ දේපලක් ලෙස මෙම ආණ්ඩුව ද සිතා සිටින බවට හොඳම නිදසුන නම්බලයට පත් වු පසු ඒවාට කතුවරුන් සහ අධ්‍යක්ෂකවරුන් පත් කල ආකරය යි. එහි කිසිම පාරදෘශ්‍ය භාවයක් නැත. ඇත්තේ දේශපාලන පක්ෂපාතිත්වය පමණි. එසේ නොවේ නම් ශ්‍රී ලංකාවේ විශාලතම පුවත්පත් ආයතනය වන ලේක්හවුසියේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂක ලෙස හුදු එජාප ගැත්තකුවීම පමණක් සුදුසුකම වූ අයෙකු පත් කරයි ද? අද මෙම පුද්ගලයගේ කාර්යය වී තිබෙන්නේ ස්වාධීන ජනමාධ්‍ය සංවිධාන කඩා කප්පල් කිරීම ය.
ජනමාධ්‍ය ස්වාධීනත්වය කෙරෙහි ස්වකීය කැපවීම ආදර්ශයෙන් පෙන්නුම් කිරීමට නම් කළ යුතු වූයේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ හසළ දැනුමැති අදීන පුද්ගලයකු එම තනතුරට පත් කිරීම ය‍.

මේ ආන්ඩුව සිතාගෙන ඉන්නේ බන්ධනාගාර පාලනය කිරීමක් රාජ්‍ය රූපවාහිනිය හැසිරවීමත් එක හා සමාන යැයි කියා ය.  

එබැවින් හිටපු බන්ධනාගාර කොමාසාරිස්වරයකුට රූපවාහිනිය බාර දී තිබේ
 
රාජ්‍ය ජනමාධ්‍ය සඳහා ව්‍යවස්ථා මණ්ඩලය යටතේ ස්වාධීන කොමිෂන් සභාවක් පත් කරන ලෙස කරන ලද ඉල්ලීම් පාර්ලිමේන්තුවේ සිටින සියලුම පක්ෂ විසින් නොසළකා හැරීම ආන්ඩුවේ පමණක් නොව මෙරට සමස්ත දේශපාලන සදාචාරයේම කලු ලපයකි

ආන්ඩුවේ සිළුමිණ පුවත්පතෙහි පසුගිය සති කිහිපයක ශිර්ෂ පාඨ දෙස බලමු:
වැඩි මිලට වික්කොත් අල්ලා දඬුවම් කරනවා
ගම මුල් කර රට නංවන ජනතාවාදී අය-වැයක්
නාවික හමුදාව ඇවන්ගාඩ් බාර ගනී රැකියාවලට අනතුරක් නෑ
ඡන්දෙට පෙර දුන් පොරොන්දුව ඉටු කරනවා, ඇවන්ගාඩ් පරීක්ෂණ නවත්වන්නේ නැහැ, කැබිනට් ප්‍රකාශක අවධාරණය කරයි
• HNDA සහතිකයට යළි උපාධි මට්ටම, උසස් අධ්‍යාපන ඇමැති කියයි
පොලිසිය ‘සුද්ද’ කරනවා, පොලිස් කොමිසමේ නව සභාපති
අල්ලස් ගත්තොත් තෝරු මෝරු බලන්නෙ නෑ, අල්ලස් කොමසාරිස්වරිය පොරොන්දු වෙයි

සියල්ළ අණ්ඩුවාදී ය. ආණ්ඩුව විවේචනය කැරෙන එකක්වත් නැත. රාජපක්ෂ සමය හා මෛත්‍රී- රනිල් අතර වෙනස් රාජ්‍ය මාධ්‍ය සංස්කෘතියක් නැති බව මින් නොපෙනේ ද? රාජ්‍ය මාධ්‍ය සියල්ලේම දේශපාලන විචාර ආණ්ඩුවාදී ය. ඒ කිසිවක් දූෂණ චෝදනා සම්බන්ධයෙන් ගවේශණාත්මක ලිපි පළ කරන්නේ නැත. උතුරු නැගෙනහිර දෙමළ ජනයාගේ මානව හිමිකම් සම්බන්ධයෙන් ද එවැනි ලිපි පළ වන්නේ නැත.
දෙසැම්බර් 01 දින ආණ්ඩුවේ දිනමිණ පුවත්පතෙහි ශීර්ෂ පාඨය මෙසේ ය.( එහි සංරක්ෂිත කලාපක කරා යෑම දුෂ්කරය) EPF – ETF ගැන සම්මුතියක්. එසේ නමුත් මෙම සම්මුතිය කරා අගමැති වික්‍රමසිංහට පසුබැසීමට සිදු වූ ක්‍රියාදාමය එහි වාර්තා නොවුණි. හරියට 1992 දෝශාභියෝග අවස්ථාවෙහි ඒ ගැන කිසිවක් නොලියා ‘ දෝශාභියෝගය පරාදයි’ කියා ශිර්ෂ පාඨයක් පළ කළා වැන්න.
ඊටත් වඩා අපූරුව නම් එහි එන මෙම ප්‍රවෘත්ති ශිර්ෂ පාඨ දෙකයි: සෝනම් කපූර් අඩනිරුවතින් : PHOTOS; ඩිනක්ෂිට පාන්දර තුනට පුළුවන්. මෙවැනි ශිර්ෂ පාඨ දැන් දිනමිණෙහි සුලභ ය.
පසුගිය ඔක්තෝම්බර් 29 දින කොළඹ වෝඩ් පෙදෙසෙහි දී ශිෂ්‍යයිනට එල්ල කළ පොලිස් ප්‍රහාරය 30 දින දිනමිණ වාර්තා කළේ මෙසේ ය: ‘ යූජීසියට රිංගන්න හැදූ 39ක් අත් අඩංඟුවට’ . එම වාර්තාවේ එන පේළි දෙකකින් පුවත්පතෙහි දැක්ම පෙනෙයි:
 ‘‘එම සිද්ධියේදී පොලිස් නිලධාරියෙක් තුවාල ලබා ඇත. සිසුන් පස්දෙනකුද තුවාල ලබා ඇතැයි කියයි… අපරාධ නඩු විධාන සංග්‍රහයේ 95 වගන්තිය ප්‍රකාරව පොලිසියට එසේ ක්‍රියාකිරීමට සිදු වී ඇත.”
පොලිස් නිලධාරියා තුවාල ලැබීම කාරණයකි. සිසුන් තුවාල ලැබීම කව්රුන් හෝ කියන දෙයකි! ආණ්ඩුවේ මාධ්‍ය හැසිරීමේ සමස්ත දිශානතිය මෙයයි. මෙවැනි උදාහරණ ඕනෑ තරම් දිය හැකි ය‍.

පසුව අගමැති රනිල් වික්‍රමසිංහ එකී ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණයක් පවත්වන බව ප්‍රකාශ කළ විට දිනමිණ පීල්ල මාරු කළේ ය

His master’s voice? ස්වාමියාගේ හඬ ද? (ඇත්තටම අගමැතිගේ ඒ පරීක්ෂණ වාර්තාව කෝ ?)
මැත දී අන්තර් ජාතික මානව හිමිකම් සංවිධාන අතර පවා සාකච්ජාවට භාජනය වූ කතුවැකියක් ආණ්ඩුවේ ඩේලි නිව්ස් පුවත්පතෙහි පළ විය

එය ලියා තිබුනේ 1988 – 1990 යුගයේ සිදුවූ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ද පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කළ යුතු බවට රාජපක්ෂවාදී ඇමැතිවරයකු වන සුසිල් ප්‍රේමජයන්ත කල ප්‍රකාශකට පිළිතුරු වශයෙනි.  

අදාළ කොටස් හි අදහස දළ වශයෙන් මෙසේ ය:
1971 දී බණ්ඩාරනායක මැතිනියට මෙනේම ප්‍රේමදාස මහතාට දුෂ්කර පියවර ගැනීමට සිදු විය. ජීවිත නැති වූවා විය හැක. නමුත් එය දැකිය යුත්තේ ටී 56 සහ ඒලේ 57 වැනි දියුණු ආයුධ ඇතිව ජේවීපීය දියත් කළ මහා පරිමාණ ත්‍රස්තවාදී යුද්ධය පසුබිමෙහි ය.
කුමණ අරමුණකින් ඉදිරිපත් වුවත් මෙම කොමිෂන් සභා යෝජනාව වැදගත් ය. මන්ද යත් එමගින් ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමේ ප්‍රේමදාස ආණ්ඩුවේ ක්‍රියා ආරක්ෂා කළ හැකි බැවිනි. ඒසා විශාල රුධිර ස්නානයකින් ( මහා මනුෂ්‍ය ඝාතනයකින්) වෙන දෙයක් අපේක්ෂා කළ හැකි පරිදිම බොහෝ අහිසකයින් මියෑදුනි. එනමුත් වැඩිපුරම පිඩාවට පත් වූයේ එජාප ක්‍රියාධරයින් සහ සාමාජිකයින් ය. යෝජිත කොමිසමෙන් එම වින්දිතයිනට සහ දිවි රැක ගත්තවුනට සාධාරණය ඉටු විය යුතු ය. අරාජික බලවේගයක් පරාජය කිරීම නිසා එජාපයට ගෑවී ඇති අපකීර්තියෙන් එය පිරිසිදු කළ යුතු ය. එය ගත් පියවර ක්වීන්ස්බරි නීතියට ( බොක්සිං ක්‍රීඩාවේ නිසි පරිදි පමණක් පහර එල්ල කිරීමේ නීතිය) අනුකූල නොවුන ද එජාපට අපවාද නැගීම නතර කළ යුතු ය.
This interpretation is excellent!
එජාප වින්දිතයින් ගැන පමණක් කඳුළු සළන සහ අර්ධ සත්‍යන් මත පදනම් වූ මෙම සටහනෙහි 1988 වෙනුවට 2006 සහ එජාපය වෙනුවට රාජපක්ෂ රිජිමය ආදේශ කර කියවන්න, එවිට අද කතාකරන වගවීමේ යාන්ත්‍රණ උඩි යටිකුරු වෙයි. සාධාරණය ඉටුවිය යුත්තේ රාජපක්ෂ රිජීමයට බව කියැවෙයි.
ආණ්ඩුවට කඩේ යෑම කර ගත් මාධ්‍ය මගින් මාධ්‍ය නිදහස හෝ මාධ්‍ය ආචාර ධර්ම රැකෙන්නේ නැත. ඇත්ත වශයෙන්ම අද රාජ්‍ය ජනමාධ්‍ය පෙන්නුම් කරන්නේ කුණුවීමක ආරම්භය මිස යහ පාලනයක ආරම්භය නොවේ.