Friday, September 25, 2015

Civil Action Revisited


Below is a reproduction.
I believe UNP hijacked the Civil Action Programme.
Our politicians are crafty in politrics.
The formation of the coalition is one strategy to tone down the Civil Action and take all the credit by few CRAFTY politicians. 
Civil Action should take presidency over political prudence.
We have to be vigilant and watchful.


මෙම වසර තුල (ජනවාරි 08 සහ අගෝස්තු 17) ඇතිවූ 
දේශපාලන බලමාරුව හුදෙක් එම දේශපාලන පක්ෂ විසින් කරනු ලැබූ දේශපාලනයක ප්‍රතිඵළයක් පමණක් නොවන බව අපි දනිමු

වසර ගණනක විශේෂයෙන්ම ‘යුධ ජයග්‍රහණයෙන්’ පසු රාජපක්ෂ දේශපාලන සංස්කෘතිය (වැඩවසම්, අර්ධ ෆැසිස්ට්, නන්නත්තාර මැර දේශපාලනය) ඉවසීමට නොහැකිව ජනතාව තුල මතුවන අප්‍රසන්නතාවය හේතු කරගනිමින් සිවිල් සමාජ ක්‍රියාධරයන් සහ සංවිධාන විශාල ප්‍රමාණයක විවිධ මට්ටම්වල විධිමත් සහ අවධිමත් නැගිටීම්වල ප්‍රතිඵලයක් එම පෙරලියට මූලික වූ බව අපි දනිමු. මෙම පෙරලිය සඳහා සිවිල් පුරවැසියන්ගේ පෙළ ගැසීම සමග ලංකා සිවිල් සමාජයේම කොටසක් වන ලංකාවෙන් දේශපාලන හේතූන් මත හෝ වෙනත් හේතූන් මත පිටරටවල ජීවත් වන (ඩයස්පෝරාව) සිවිල් පුරවැසියන්ද අතිනත ගත් බව අපි දනිමු.
බොහෝ විට ඩයස්පෝරා යන වචනය ලංකා සමාජයට ඍණාත්මක හඬක් ලෙස හංවඩු ගසා තිබුනා වුවත් රටින් පිට ජීවත්වූවා වුවත් තම යුතුකම වටහා ගත් පුරවැසියන් දිගින් දිගටම ලංකාව තුල සිදුවන බල අපයෝජනයට එරෙහිව ක්‍රියාත්මක වනු ලැබීය. නමුත් මෙම වැරදි රූපය පිට සිට ක්‍රියාත්මකවන පුරවැසියාට පමණක් නොව රටතුල සිට ක්‍රියාත්මක වන පුරවැසියාටද ඒ අයුරින්ම හංවඩු ගැසූ බව අප දනිමු. රටතුල සිටින පුරවැසියන්වද එමෙන්ම රටින් පිට සිටින පුරවැසියන්වද එකම වැරදි රූපයකට දමමින් (ඩොලර්වලට රට පාවා දෙන ආදී ) වැරදි හංවඩුවක් ගසනු ලැබීය. බොහෝ විට ලංකා සමාජය තුල ඇති නොදියුණු භාවය සහ පසුගාමීබව නිසාම ඇතිවන සමාජ ඊර්ෂ්‍යාවද හේතු කරගෙන රටින් පිට සිටින පුරවැසියන් ගැන (රටේ මිනිස් අයිතීන් ගැන ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන) වඩා නරක රූපයක් මවනු ලැබීය. සමරහ අවස්ථාවල මෙය කොතරම් තදින් සහ තීරණාත්මක ලෙස කෙරුණාද යත් රට තුල ක්‍රියාත්මක වන පුරවැසියා පවා රටින් පිට සිටින පුරවැසියා ගැන වැරදි රූපයක් මවාගනු ලැබීය.
රටක් තුල සිටින සිවිල් සමාජය රටක ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට සහ එය පවත්වා ගැනීමට තිබිය යුතු ප්‍රධාන සාධයකි. සිවිල් සමාජය ශක්තිමත් නැති කිසිම රාජ්‍යක ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු නොවේ. ලංකාව තුල සිටින පුරවැසි බලවේග, එම සිවිල් සමාජයේම කොටසක් වන රටින් පිට සිටින පුරවැසි බලවේගයන් තමන් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා කරන අරගලයේ කොටස් කරුවන් ලෙස ඈදා ගැනීම තුල පුරවැසි බලවේග වලට රාජ්‍ය සමග කේවල් කිරීම සඳහා වඩා ශක්තියක් ලබාදෙනු ලබයි. අද ගෝලීය ලෝකය තුල රටක් තනිවම නොපවතී. අප කැමති වුවද නොවූවද ලෝකය විවිධ මට්ටම්වලින් එකිනෙකට ඈදී පවතී. ධනපති ලෝකය ප්‍රාග්ධනය ගෝලීකරණය කරමින් එය හා සමානව දුප්පත්කමත් ගෝලීයකරණය කරති. නමුත් මෙයට සමාන්තරව දියුණු ධනපති රටවල සිවිල් සමාජය තම රට තුල ප්‍රජාතන්ත්‍රවාදය පමණක් නොව ජාත්‍යන්තරව පවතින (ගෝලීය) ප්‍රජාතන්ත්‍රවාදය ගැනද අවදිමත් වෙති. එහි ප්‍රතිඵල ලෙස විවිධ සිවිල් සමාජ සංවිධානයන් ලෝකයේ අන් රටවල මිනිස් අයිතීන් පාගා දැමීමට එරෙහිව ක්‍රියාත්මකව පවතී. මෙයට උදාහරණ ලෙස ගන්නේ නම් සංවිධාන වශයෙන් ජාත්‍යන්තර ක්ෂමා ආයතනය, හියුමන් රයිට් වොච් සහ ඉන්ටර්නැෂනල් ක්‍රයිසිස් ගෘප් වැනි තවත් සංවිධානයන් ය. ඒ වාගේම මෙම දියුණු ධනපති රටවල ජනයා තම රටවල රාජ්‍යන්ට අන් රටවල ජනතා ප්‍රශ්නවලට මැදිහත් වන ලෙසද බලපෑම් කරති. ඔවුන් ඒ සඳහා පෙත්සම් අත්සනේ සිට පෙලපාලි යෑම දක්වා විවිධ ක්‍රම සහ විධි උපයෝගී කර ගනිති.
ලංකවේ යුද්ධය පවතිද්දීත් යුද්ධයෙන් පසුත් රටින් පිට සිටි පුරවැසි සංවිධාන (උදාහරණයකට INSD වැනි) දිගින් දිගටම ලංකා රාජ්‍යට බලපෑම් කිරීමේ පුරවැසි දේශපාලනයක නියැළිණි. විශේෂයෙන්ම යුරෝපයේ රාජ්‍යන්ට, යුරෝපා සංගමයට සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ජාත්‍යන්තර ආයතනවලට ලංකාව තුල ක්‍රියාත්මක වන මිනිස් අයිතීන් උල්ලංඝනයට එරෙහිව ඒ පිළිබඳව දැනුවත් කිරීමේ කටයුතු කරනු ලැබීය. ඒ සඳහා ලංකාව තුල ක්‍රියාත්මක වන සිවිල් සහ දේශපාලන ක්‍රියාධරයන්ට ආරාධනා කර ඔවුනට මෙම රටවල නායකයින් සහ රාජ්‍ය ආයතන සමග මේ පිළිබඳව කතා කිරීමට අවස්ථාව සලසා දෙනු ලැබීය. එමෙන්ම රටේ දීර්ඝ කාලීනව පවතින ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසදුමක් ලබා ගැනීම වෙනුවෙන් පෙනී සිටිනු ලැබීය. ඒ සඳහා රටතුලට පැමිණ සන්ධීය ක්‍රමය පිළිබඳ සම්මන්ත්‍රණ සහ වැඩමාලාවල් කරනු ලැබූ අතර ආණ්ඩුවේ සහ විරුද්ධ පක්ෂවල දේශපාලඥයන්ව ලොව ඇති සන්ධීය රාජ්‍යන් වෙත කැඳවාගෙන ගොස් ඔවුන්ව ඒ ක්‍රම පිළිබඳව දැනුවත් කරනු ලැබීය. මේ ඉහත කාරණා වලින් පෙන්නුම් කලේ ඩයස්පෝරාවේ සිවිල් බලවේගයන්ද දිගින් දිගටම ලංකා සිවිල් සමාජය සමග වැඩ කර ඇති බවයි.
දැන් ඇත්තේ බලය මාරු කළ අලුත් දේශපාලන බලාධිකාරයක්ය.(නමුත් පැරණි දේශපාලඥයින්ගෙන් සැදුම් ලත්). එනිසා බලය මාරුවීමෙන් පමණක් රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු නොවනු ඇත.
නීතිය මත පාලනය ඇති කිරීම
වැරදි කළවුන් නීතිය ඉදිරියට ගෙනඒම
බලය සහ නීතිය අපයෝනය කර රාජ්‍ය දේපළ කඩා ගත්තවුන් මෙන්ම බලය අපයෝජනය කරමින් එය ඉහලින්ම හෝ පහලින්ම සිදුවූවා වුවත් ඔවුන්ව නීතිය ඉදිරියට ගෙනවිත් අඩුම තරමින් සමාව ගැනීමට හෝ සැලැස්වීම. මෙයට උදාහරණ ලෙස පෙලපාලිවලදී පෙලපාලිකරුවනට පහරදෙන පොලිස් සහ මැරයන්ද අයත්ය.
පිරිහී ඇති රාජ්‍යට ප්‍රජාතන්ත්‍රවාදී බල ව්‍යුහයන් ආදේශ කිරීම
ජනවාර්ගික ප්‍රශ්නයට සුළු ජනවර්ගවල ආරක්ෂාව සහ අපේක්ෂා තහවුරුවන දේශපාලන විසඳුමකට ඒම(උදාහරණ – සන්ධීය ක්‍රමය වැනි)

මෙවැනි කාරණා සම්බන්ධයෙන් බලයට පත් රජයට කර ඇරීමට ඉඩ නොදී ඒවා ක්‍රියාත්මක කරවා ගැනීමට නම් දැන් ලංකාවට ශක්තිමත් සිවිල් සමාජ බලවේගයක් අත්‍යවශ්‍යය.
සිවිල් සමාජය පසුගිය බලමාරුවට කළ කාර්යන් තමන් විසින්ම අවතක්සේරු නොකළ යුතුය. දැන් මතුව ඇත්තේ සැබෑ අභියෝගයයි. එනම් මාරු කළ බලය යොදවා ජනතාවගේ උවමනාවන් වන ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රට තුල තහවුරු කර ගැනීමයි. ඒ සඳහා සිවිල් සමාජය දැන් පෙරටත් වඩා ශක්තිමත්ව ඉදිරියට යායුතුව ඇත. ඇත්තෙන්ම අවශ්‍ය වන මූලික ඉඩකඩද දැන් ඔවුන් වෙත විවරව තිබේ. පමා වන විට දැනට ඇති එම ඉඩද ඇහිරෙන බව අප අමතක නොකළ යුතු වෙමු.
රටතුල සිටින සිවිල් සමාජයට පිට සිටින සිවිල් බලවේග දිගින් දිගටම සහයෝගයෙන් කටයුතු කර තිබේ. ඔවුනට පිට රටට ආරාධනා කර සම්මේලන ආදිය පවත්වා ඇත. ජර්මනියේ පැවති බාඩ්බෝල් සම්මේලන, කේරල සම්මේලනය ආදියත් යුරෝපයේ රාජ්‍යන් දැණුවත් කිරීම සඳහා කළ වැඩ කටයුතුත් මේවාට උදාහරණ වේ.
දැන් රට තුල සිවිල් සමාජයේ අවස්ථාවයි ඔවුන් මේ වන විට රට තුල මතුව ඇති ඉඩකඩ තම වැඩකටයුතු සඳහා උපයෝගී කර ගනිමින් රටින් පිට සිටින සිවිල් සමාජයට (ඩයස්පෝරාවට) කොළඹට ආරාධනය කර විශාල සිවිල් සමාජ සම්මේලනයක් පැවැත්වීමට මේ අවස්ථාව කර ගත යුතුය. එයට පවතින රජයේ අනුමැතිය සහ අනුග්‍රාහය ලබා ගත යුතු අතර රජයට විවේචනාත්මක මග පෙන්වන බලවේගයක් බවට එය පත් විය යුතුය. රට තුල සිටින සිවිල් බලය රටින් පිට සංවිධාන සමග එකට සංවිධානාත්මක එක බලවේගයක් බවට මේ මොහොතේ පත් කර ගත යුතුව ඇත. එසේ කර ගැනීමෙන් ලංකා රජයේ බලය කවුරු අත තිබුනා වුවත් ඔවුන් සමග කේවල් කිරීමේ බලයක් බවට පුරවැසි බලවේගවලට පත්විය හැක.
එතුලින් ඇතිකර ගන්නා ආරම්භය තුල මතුවන ඉඩ රට පුරාම සම්මේලන, සම්මන්ත්‍රණ, වැඩමුළු පවත්වමින් පුරවැසි අයිතීන් පිළිබඳව රටවැසියා දැනුවත් කිරීම රජයේ අනුදැනුම සහ අනුග්‍රහය ලබමින් ආරම්භ කළ යුතුය. නමුත් ඒ සියල්ල කළහැකි වන්නේත් එයට ඉඩ ලබා ගත හැකි වන්නේත් තමන් ශක්තිමත් බලවේගයක් බව රජයට තහවුරු කළහොත් පමනි. එනිසා පලමු වටයට නොපමාවම මෙවැනි ‘‘දෙස් විදෙස් පුරවැසි සම්මේලනයක්’’ පැවැත්විය යුතුය. එහිදී ගොඩනගා ගන්නා වැඩපිළිවෙලවල් සහ තීරණයන් අනුව ඉදිරි වැඩ සකස් කර ගත හැකිවේ.
රට තුල බලවේග රටින් පිට බලවේග සමග අතිනත් ගත් කල රජය සහ දේශපාලඥයාට අත්තනෝමතික වීමට ඇති ඉඩකඩ ඇහිරේ. ඒ වෙනුවෙන් මූලික වැඩ ඇරඹීම දැන් රට තුල සිටින සිවිල් බලවේගයන්හි ප්‍රධාන යුතුකමකි. ලංකා සිවිල් සමාජය කළ යුතු වන්නේ දෙස් විදෙස් සිවිල් සමාජය එකට එක්කිරීමයි.
ranjith_hennayake1රංජිත් හේනායකආරච්චි | Ranjith Henayakaarchchi

No comments:

Post a Comment